ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රූපවාහිනිය: විනිශ්චයකට ඉක්මන් වැඩියි -සභාපති

නව පරිපාලනය යටතේ පවතින ජාතික රූපවාහිනිය පිළිබඳව විනිශ්චයකට එළැඹීමට තවම ඉක්මන් වැඩි බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති සෝමරත්න දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

‘ඒක වෙනස් කරන්න තමයි මම මෙතෙන්ට ආවේ. කිසියම් කෙනෙක් කියනවනම් ඒක තිබිච්ච විදියටම යනවා කියල ඒ ගොල්ලෝ හදිස්සි වැඩියි කියල මම කියන්න ඕන. මොකද තාම දවස් දෙකයි මම වැඩ බාර අරගෙන. ප්‍රාතිහාර්ය කරන්න බැහැ. ක්ෂණිකව ගත හැකි පියවර දැනටමත් අරගෙන තියෙනවා.’ නව සභාපති සෝමරත්න දිසානායක පැවසීය.

පසුගිය රජය රූපවාහිනිය හැසිර වූ ආකාරයට වඩා හාත්පසින් ම වෙනස් ආකාරයකට ඉදිරි මැතිවරණයකදී ක්‍රියා කර පෙන්වන බවට නව සභාපතිවරයා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ කළ සාකච්ඡාවේ දී ප්‍රතිඥා දුන්නේය. හඬ පටයට සවන් දෙන්න.

පදවියට පත් කිරීම

කැබිනට් මණ්ඩලය පත් කිරීමටත් පෙර චිත්‍රපට අධ්‍යක්ෂ‍ සෝමරත්න දිසානායක රූපවාහිනියේ සභාපති පදවියට පත් කිරීම නව රජයට සහාය දෙන ක්‍රියාධරයන්ගේ විවේචනයට ලක් වී තිබේ.

‘කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර රටේ සියලුම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල වගකිව යුත්තා වන්නේ ජනාධිපතිවරයා. මේ ජනාධිපතිවරයා මට කිව්වා මේ තියෙන දේශපාලන සංස්කෘතිය රූපවාහිනියේ වෙනස් විය යුතු බව. ඒ නිසා මේ තනතුර භාර අරගෙන අපේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න කියලා.’ ඊට ප්‍රතිචාර දක්වමින් නව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය රජයෙන් කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් තමා ලබා නොගත් බවත් රාජ්‍ය මාධ්‍ය ජනතා මාධ්‍ය බවට පත් කිරීම සඳහා තමා නිරන්තරයෙන් පෙනී සිටින බවත් ඔහු අවධාරණය කර සිටියේය.