මහින්දගේ හම්බන්තොට ආධාරකරුවන්ට ප්‍රහාර

ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් වෙතින් තමාට දිගින් දිගටම තර්ජන එල්ල වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයෝ චෝදනා කරති.

මේ අතර ඊයේ අලුයම සූරියවැව ප්‍රදේශයේ පී රාජපක්ෂ නමැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ක්‍රියාධරයකුගේ නිවසට යම් කිසි පිරිසක් පැමිණ ගිනි තබා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පැමිණ එම ප්‍රහාරය එල්ල කළ බවට පී රාජපක්ෂ චෝදනා කළේය.

ගින්නට හසු වී තම නිවසත් ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථය සහ යතුරු පැදියත් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පී රාජපක්ෂගේ බිරිඳ කේ ඒ ප්‍රේමලතා පැවසුවේය.

එම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දාසය වනදා තංගල්ල නගරයේදී යූපී ධනුෂ්ක නමැති සන්ධාන පාක්ෂිකයකුට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට තැත් කළ අයකු තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව හම්බන්තොට ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත සංදේශයට කියා සිටියේය.

එමෙන්ම පසුගිය එකොළොස් වනදා රාත්‍රියේදී අඟුණකොළපැලැස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාධරයින් දෙදෙනෙකුගේ නිවාස දෙකකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවත් ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත වැඩි දුරටත් පැවසුවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් ඉලක්ක කර එල්ල කෙරෙන ප්‍රහාර වැළැක්වීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවයි මේ අතර හිටපු අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර