ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගවිනිසුරු: කුමන්ත්‍රණ කිරීම 'මිනීමැරීම හා සමානයි'

ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගටම බලයේ රැඳී සිටීමට කළ උත්සාහයට ආධාර කළ බවට චෝදනා ලබා සිටින අගවිනිසුරු මොහාන් පීරිස් එම චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව නීතිවේදීන්ගේ එකමුතුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ නීතිය යටතේ මුක්තියක් පවතින්නේ රටේ ජනාධිපතිවරයාට පමණක් බැවින් එසේ අත්අඩංගුවට පත්වුවහොත් ඔහුට තවදුරටත් සිය ධුරයේ කටයුතු කිරීමේ සදාචාරාත්මක හැකියාවක් නැති බව, එකමුතුවේ සම ප්‍රකාශක නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

පදවියෙන් ඉල්ලා අස් වන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිවේදී එකමුතුව සහ මානව හිමිකම් ක්‍රියාධරයන් කරන ඉල්ලීම පිළිනොගෙන අගවිනිසුරුවරයා දිගටම පදවියේ රැඳී සිටියහොත් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම හැරුණු කොට ඔහු ඉවත් කිරීමේ හැකියාවක් නැති බව නීතිවේදී කුමාරගේ පිළිගත්තේය.

'මිනීමැරුමක් හා සමානයි'

කෙසේ නමුත් ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු ජනාධිපතිවරයා සමඟ 'අරලියගහ වලවුවේ' රැඳී සිටිමින් ජයග්‍රාහක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලය පවරා නොදීමට කුමන්ත්‍රණ කළ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර රහස් පොලිසියට කර තිබෙන පැමිණිල්ල බරපතල චෝදනාවක් බවයි, ඔහු පවසන්නේ.

"මේක ඉතා බරපතල, මනුෂ්‍ය ඝාතනයක් හා සමාන, බරපතල වරදක්," යනුවෙන් නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එවැනි වරදකට අත්අඩංගුවට ගැනුණ පමණින් අගවිනිසුරුවරයාට පදවිය අහිමි නොවන නමුත්, මහජන පරමාධිපත්‍යය රැක ගනිමින් එවැනි අවස්ථාවක පදවිය හැර යන මෙන් ඔහුට බල කිරීම රටේ ජනතාවගේ වගකීම බව ද නීතිවේදී එකමුතුවේ ප්‍රකාශකයා පැවසීය.

ශ්‍රී ලංකාවේ සියලු නීතිඥයන් තමන්ට විරුද්ධ නැති බව අගවිනිසුරු මොහාන් පීරිස් අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ කර තිබෙන ප්‍රකාශය සාවද්‍ය බව ද නීතිවේදී කුමාරගේ පවසයි.

නීතිඥ සංගමය සහ බොහෝ ක්‍රියාධරයන් ඉල්ලා සිටින පරිදි පදවියෙන් ඉල්ලා අස් වන්නේ දැයි විමසීම පිණිස සංදේශය අගවිනිසුරු මොහාන් පීරිස් ඇමතූ අවස්ථාවේ ඔහු දුරකථනය විසන්ධි කළේය.