මහින්ද, නාමල් රුව සහිත ඔරලෝසු හැත්තෑ දහක් සොයා ගැනෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂගේ මුද්‍රිත රුව සහිත හැත්තෑ දහසකට අධික බිත්ති ඔරලෝසු ස්ථාන දෙකකින් සොයා ගත් බව පොලිසිය පවසයි.

සපුගස්කන්ද ප්‍රදේශයේ වරාය අධිකාරිය විසින් පවත්වා ගෙන ගිය බවට සැලකෙන ගබඩා පරිශ්‍රයේ කන්ටේනරයක තිබී බිත්ති ඔරලෝසු හැටඅට දහසක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේය.

කුලී පදනම යටතේ පවත්වා ගෙන ගොස් ඇති ඉහත කී ගබඩා පරිශ්‍රය සඳහා වරාය අධිකාරිය විසින් මාසිකව ලක්ෂ පහළොවක මුදලක් ගෙවා ඇතැයි පැවසෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ රුව සහිත තවත් බිත්ති ඔරලෝසු දෙදහස් පන්සීයක් වීරකැටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ.

එම බිත්ති ඔරලෝසු තොගය චීනයෙන් ගෙන්වන ලද බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ අනූ නවදහසක් මුදලක් ගෙවූ බවත් ඔරලෝසු තොගයේ අයිතිකරු ලෙස පෙනී සිටි අයෙක් පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම ඔරලෝසු තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඒ සඳහා නියමිත රේගු බදු මුදල් ගෙවා ඇත්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර ඔරලෝසු තොගය සොයා ගැනුණු වීරකැටිය ප්‍රදේශයේ පිහිටි නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපතිවරයාට අයත් නිවසක් බවයි හම්බන්තොට ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර