මහින්දට එරෙහිව බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා නෑ - පොලිසිය

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන්ට එරෙහිව බරපතල පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැති බව පොලිසිය පවසයි.

පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව සඳහන් කළේ, හම්බන්තොට මෙන්ම රට පුරා වෙනත් ප්‍රදේශවලදීත් සිය ආධාරකරුවන්ට දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් තිබෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සිකුරාදා බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ.

මේ අතර ගාල්ලේ යාත්‍රාවක තිබී ආයුධ තොගයක් හමුවීම පිළිබඳව සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, ස්වයංක්‍රීය අවි, අර්ධ ස්වයංක්‍රීය අවි ඇතුළු ආයුධ 3150 කට වැඩි ප්‍රමාණයක් හමු වූ අතර රතු මුහුද හරහා යුරෝපය වෙත යාත්‍රා කරන නැවුවලට ආරක්ෂාව ලබාදීම් වස් ආයුධ තබාගැනීමට 2012 දී ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලික ආරක්ෂක සමාගමකට අවසර දී ඇති බව කියා සිටියේය.

"කොපමණ ආයුධ සංඛ්‍යාවක් තියා ගෙන ඉන්න බලය දීල තියෙනවද, ඊට වඩා වැඩිපුර ආයුධ තියෙනවද, ඒ වගේම පුද්ගලික ආරක්ෂක සමාගමකට මෙවැනි බලයක් දෙන්න තිබෙන නෛතික ප්‍රතිපාදන මොනවාද කියන කාරණා ගැන විමර්ෂණ පැවැත්වෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ලම්බෝගිනි රථයක්?

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පුද්ගලික ආරක්ෂක සමාගමක අවි ගබඩාවේ නීතිවිරෝධී ආයුධ තිබෙන බවට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය අඟහරුවාදා පරීක්ෂා කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව දිගටම බලයේ රැඳී සිවීමට කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාව සහ මේ නීති විරෝධී අවි අතර සම්බන්ධයක් තිබෙන්නේ දැයි විමසූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ, ඒ පිළිබඳව දැන් විමර්ෂණ පැවැත්වෙන බවයි.

ජනාධිපති මන්දිරයෙන් ඉවත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික දේපොළ අඩංගු බව පැවසෙන කන්ටේනර් කිහිපයක් පෑලියගොඩ නවලෝක කන්ටේනර් අංගනයේ තිබී හමු වූ බව සඳහන් කළ ඔහු, වෙනත් රටවලින් ලැබුණු ඇතැම් සිහිවටන ද එහි තිබෙන බව පැවසීය.

ලම්බෝගිනි මෝටර් රථයක් සහ මුහුදේ ගොඩබැස්විය හැකි ගුවන් යානයක් තිබෙන බවට ලද තොරතුරක් මත හිටපු ජනාධිපතිවරයා සතු වීරකැටියේ කාල්ටන් මධ්‍යස්ථානය පරීක්ෂා කරන ලද නමුත් ඒ කිසිවක් එහි තිබී හමු නොවූ බව ද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සියලු සැකකටයුතු දේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අලුත් ආණ්ඩුවක් පත්වන තුරු බලා සිටියේ මන්දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේ පොලිසියට සමාජයෙන් හුදෙකලාව කටයුතු කළ නොහැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර