ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව පාලනයේ වෙනස පහළ තලයට දැනී නැහැ - වෘත්තීය සමිති

ජනාධිපති සහ අගමැති ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙළ ධුරවල වෙනස්කම් සිදුවුවත් දූෂණවලට සම්බන්ධ පහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ තනතුරුවල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කර වීම සඳහා සහාය පළ කළ සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති එකමුතුව අද සඳුදා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ රටේ වත්මන් දේශපාලන ස්වභාවය පිළිබඳ සිය අදහස් පළ කිරීම සඳහායි.

පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් එම තනතුරුවලින් තවමත් ඉවත් නොකිරීම ප්‍රශ්නාර්ථයක් බවයි සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ.

මාධ්‍ය හමුවට එක් වෙමින් ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් කියා සිටියේ දූෂිත රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත් නොකිරීම හේතුවෙන් වර්තමාන නව පාලනයේ වෙනස බිම් මට්ටමට නොදැනෙන බවයි.

පඩි වැඩිවීම

වර්තමාන ආණ්ඩුව පවතින්නේ දින සියයක වැනි කෙටි කාලයක් නිසා දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් නව ආණ්ඩුව ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බවයි ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

එහිදී සංදේශය නව ආණ්ඩුව බලයට පත් කිරීමට සහාය දුන් වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් විමසා සිටියේ පොරොන්දු වූ පරිදි රජයේ සේවකයන්ගේ පඩි වැඩි වීම සිදු කරන්නේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සමන් රත්නප්‍රිය පැවසුවේ ජනවාරි විසි නව වනදා ඉදිරිපත් වන අතුරු අයවැයෙන් අදාළ පඩි වැඩි වීම සිදුවීමට නියමිත බවයි .

වර්තමාන ආණ්ඩුවට බලපෑම් කර පොරොන්දු ඉටු කරවා ගැනීමට වෘත්තීය සමිති එකමුතුව සූදානම් බව පැවසූ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සමන් රත්නප්‍රිය නමුත් වර්තමාන ආණ්ඩුව බිඳ දමා ‘ජාතිවාදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකට’ නැවත පාර කැපීමට සුදානම් නොවන බවද ප්‍රකාශ කළේය.

වර්තමාන අගවිනිසුරුවරයාගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් සමන් රත්නප්‍රිය වැඩි දුරටත් කියා සිටියේ ජනාධිපතිවරණය පැවති දින රාත්‍රියේ අරලිය ගහ මැදුරේ සිදු වූවා යැයි කියන කුමන්ත්‍රණය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි .