'විස මුසු ජලය නිසා හතළිස් දාහක ජීවිත අනතුරේ'

'යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පානීය ජල පද්ධතියට ඉන්ධන ඇතුළු විෂ ද්‍රව්‍ය මුසු කරන' උතුරු පෞද්ගලික විදුලි සමාගම වහාම වසා දමන ලෙස ඉල්ලා යාපනයේ වෛද්‍යවරු සිව් දෙනෙක් සහ ගුරුවරු ඇතුළු පිරිසක් අඛණ්ඩ උපවාසයක යෙදෙති.

තවත් මාසයක කාලයක් විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවොත් සමස්ත යාපනයේම පානීය ජල පද්ධතියට මෙම විෂ ද්‍රව්‍ය මුසු වන බව පෙන්වා දෙන උපවාසකරුවෝ දැනට යාපනයේ චුන්නාකම් පළාතේ වර්ග කිලෝමීටර් දහනවයක වෙසෙන වැසියන් තිස්පන් දහසක් සහ පාසල් ළමුන් තුන්දහස් පන්සියයක් පමණ පීඩාවට පත්ව සිටින බව කියති.

ගර්භණී මව්වරුන්ගේ දරු කළල විනාශ වීමේ තර්ජනයකට සහ සෙසු පුද්ගලයින් රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇති බැවින් වෛද්‍යවරු මුල් වී මෙම උපවාසය දියත් කළ බව පේදුරුතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගණේෂදාසන් සෙන්දූරන් පැවසුවේය.

'අසත්‍ය චෝදනා'

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා හෝ වගකිවයුතු නිලධාරියෙකු පැමිණ නිසි පියවර ගන්නා තුරු උපවාසය අඛණ්ඩව පවත්වා ගෙන යන බව කියන විරෝධතාකරුවෝ යම් කාලසීමාවක් දක්වා එම පළාතේ වැසියන්ට විකල්ප මාර්ගයකින් පානීය ජලය සැපයීමට පියවර ගන්නා මෙන්ද ඉල්ලා සිටිති.

සිය විදුලි සමාගම හරහා පානීය ජලයට විෂ ද්‍රව්‍ය මුසු වන බවට නැගෙන චෝදනා පදනම් විරහිත බව මේ අතර උතුරු පෞද්ගලික විදුලි සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්.

පාරිසරික ගැට‍ළු ඇති වන්නේ යැයි අසත්‍ය චෝදනා නගමින් යම් කිසි පිරිසක් සිය යටි අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් මුලා කර ඇති බවයි උතුරු පෞද්ගලික විදුලි සමාගම වැඩි දුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර