ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හැම තැනම දේශපාලන පළිගැනීම් - මහින්ද

පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ගෙන් පළි ගැනීමේ ක්‍රියාදාමයක් දියත්ව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ගතව ගිය දින කිහිපය තුළ තමන් රටේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළ බව පවසන හිටපු ජනාධිපතිවරයා, ඒ හැම ප්‍රදේශයකදීම තමන්ට දේශපාලන පළි ගැනීම් පිළිබඳව සල වූ බව කියා සිටියේය.

"ඉතින් මං හිතනවා මේක තමයි මුලින්ම නතර කළ යුත්තේ," යනුවෙන් ඔහු කියා සිටියේ මහනායක හිමිවරුන් බැහැ දැකීම පිණිස මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

සිය පවුලේ සාමාජිකයන් දශක ගණනාවක් දේශපාලනයේ නිරතව සිටින නමුත් පොලිසිය පළමුවරට සිය නිවස පරීක්ෂා කළේ ඊයේ බවද ඔහු කියා සිටියේය.

'බල්ලෙක් වගේ'

ලක්ෂ 57 ක ජනතාවක් තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ බව සිහිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ "මේක නෙවෙයි අපි බලාපොරොත්තු වුනේ," යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේය.

තවදුරටත් සක්‍රීය දේශපාලනයේ යෙදෙන්නේ දැයි මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයට සිනහවකින් පමණක් පිළිතුරු දුන් ඔහු, රටේ දේශපාලන සදාචාරයක් තිබිය යුතු බවද පැවසීය.

හිටපු ජනාධිපතිවරයා කරන ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූයේ මෙවර ජනාධිපතිවරණයෙන් අනතුරුව බවයි.

පාර්ලිමේන්තුවේදී බීබීසී සංදේශයට අදහස් දැක් වූ රාමනායක මන්ත්‍රීවරයා, "අපි කවදාවත් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ ජනාධිපති පේක්ෂකයාව බල්ලෙක් වගේ ඇදන් ගිහිල්ල හිරේ දැම්මේ නෑ," යනුවෙන්ද සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනපතිවරණයෙන් පරාජය වූයේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහු සිරගත කිරීමට ඉඩ තිබූ බව සඳහන් කළ ඔහු, එසේ වූයේ නම් තමන්ද මරා දැමීමට ඉඩ තිබූ බවත් පැවසීය.

අගලවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට දණගස්වා පහර දීමේ චෝදනා ලබා සිටින පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එරෙහිව අදාළ පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.