ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ව්‍යවස්ථා සංශෝධනය 'අගමැතිට වාසියි'

ජනාධිපති පදවියේ බලතල අඩු කිරීමට මේ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බව විරුද්ධ පක්ෂය පවසයි.

"මොකද එතුමාගේ බලය නෙමෙයිනේ නැතිවෙන්නේ. එතුමාට ඒ නිසා බලය ලැබෙනවා," යනුවෙන් භාෂා සහ සමාජ ඒකාග්‍රතාවය පිළිබඳ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව කථානායකවරයා ගේ ප්‍රධානත්වයෙන් පළමුවරට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගි වී සිටියේය.

මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ, වංචා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට සිය සහාය හිමි වන බව සඳහන් කළ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මන්ත්‍රීවරයා, කෙසේ නමුත් නීතියේ ආධිපත්‍යයට යටත්ව එම පරීක්ෂණ පැවැත්විය යුතු බව අවධාරණය කළේය.

"රවී කරුණානායකට ගිහිල්ල බඩු අල්ලන්න බෑ. එයා මුදල් ඇමති. ඒක පොලිසිය කරන්න ඕන," යනුවෙන්ද හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, රටේ නව දේශපාලන ප්‍රතිසංස්කරණවලට කොටස්කරුවන් වීමට ආණ්ඩු පක්ෂය, විපක්ෂ ඇතුළු සියලු පක්ෂවලට අවස්තාව සැලසීම පිළිබඳව සතුටු වන බව කියා සිටියේය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට පවරා දීම මගින්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දුන් ලක්ෂ පනස් හතක ජනතාව පාවා දී ඇති බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ කරන චෝදනාව පිළිබඳව සංදේශයේ අසාම් අමීන් කළ විමසීමකට පිළිතුරු දුන් නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ රටේ ජනතා අභිලාෂයන් ඉටුකිරීමට ජනතා නියෝජිතයන් ලෙසින් තමන් බැඳී සිටින බවයි.

දින සියයේ වැඩසටහනට සහාය ලබා දුන් පමණින් දූෂිතයන්ට නීතියේ රැහැනින් පලා යාමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විශ්වාසය පළ කළේය.