ක්‍රමය වෙනස් කලොත් මැතිවරණයට මාස තුනක් ඕනෑ - මැතිවරණ කොමසාරිස්

Image copyright AFP

මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු වුවහොත්, මහ මැතිවරණයක් පැවැත්වීමට මාස තුනකට ආසන්න කාලයක් අවශ්‍ය වනු ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.

මැතිවරණ කොමසාරිස්වරයා අද, සිකුරාදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කලේ ආණ්ඩුව පොරොන්දුවූ පරිදි ඊළඟ මහ මැතිවරණය, නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට මැලිකමක් දක්වන බවට වාර්තා පලවෙමින් ඇති අවස්ථාවකයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ මාස දෙකහමාරක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පවතින බව පැවසූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එහෙත් මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කළ හොත් ඒ සඳහා මාස තුනක පමණ කාලයක් ගත විය හැකි බවයි පවසන්නේ.

මුලික කරුණු

"ආකෘති පත්‍රයේ සිට හැමදෙයම අළුතින් මුද්‍රණය කළ යුතුයි, පනත වෙනස් කලොත් වැඩි කාලයක් යනවා; මොකද සමහර මුලික කරුණු වෙනස් වෙන හින්දා," ඔහු පැවසුවේය.

දැන් පවතින මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාසයකටම මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින 100 වැඩ පිළිවෙළේ සඳහන් වෙයි.

පසුගියදා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමතමින් පැවසුවේ දින 100 වැඩපිළිවෙළින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව මග හැරීමට ආණ්ඩුව උත්සහ කරන බවයි.

වෙනස් කිරීම අසීරු දෙයක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිරස රුපවාහිනියේ වැඩසටහනකට සහභාගිවෙමින් පැවසුවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව දින 100 වැඩපිළිවෙළින් ඉවත් කර ඇති බවට දැන ගන්නට තිබෙන බවයි

" නිල වශයෙන් කියන්නේ නැහැ, නමුත් දැනටමත් පුවත් පත්වලත් සමහර මන්ත්‍රීවරුනුත් සඳහන් කරලා තියෙනවා මේක වෙනස් කිරීම අසීරු දෙයක් කියලා"

මැතිවරණ ක්‍රමය දින 100 ක් තුළ වෙනස් නොකරන්නේ සීමා නිර්ණය කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බව පැවසීම පිළිගැනීමට නොහැකි නිසා බවයි වික්ටර් අයිවන් පවසන්නේ.

දින 100 තුළ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සුදානමක් නොමැති බවට පල වෙන වාර්තා පිළිබඳව සංදේශය ඊයේ, බ්‍රහස්පතින්දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසු අතර ඔහු පැවසුවේ අදාළ වෙනස් කිරීම අනිවාර්යයෙන් සිදුවන බවයි.

ඉදිරි මැතිවරණය පැවැත්වෙන්නේ නව ක්‍රමයටදැයි විමසු විට එහි සිටි අමාත්‍ය චම්පික රණවක පැවසුවේ එය ස්ථිර වශයෙන් පැවසිය නොහැකි බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දින 100 වැඩපිළිවෙළ අනුව අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයකට යාමට නියමිතයි.

ඒ අනුව මැතිවරණය ජුලි මාසයේ පැවැත්වීමට ඉඩ තිබේ.