ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අගවිනිසුරු තානාපතිකමක් ඉල්ලුවා'

විදේශ තානාපති ධූරයක් ලබා ගෙන තම තනතුරින් ඉවත් වීමට අගවිනිසුරුවරයා, අගමැතිවරයා සමඟ එකඟතාවකට පැමිණ සිටි බව ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.

අද, සිකුරාදා දහවල් උපරිමාධිකරණ පරිශ්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී එහි කැඳවුම්කරු නීතිවේදී ජේ.සි.වැලිඅමුණ මේ බව කියා සිටියේය.

‘තනතුරින් ඉවත් වෙලා යන බවට පිළිඅරගෙන කොන්දේසියක් වශයෙන් එතුමා රටක තානාපති තනතුරක් ඉල්ලා සිටියා, ඒ බව අපි හොඳින් දන්නවා. ඒ තානාපති කම අරගෙන ඉල්ලා අස්වෙන බවට පොරොන්දු වුනා.’ නීතිවේදී ජේ.සි.වැලිඅමුණපැවසුවේය.

නීති විරෝධී ක්‍රියාවක්

මාධ්‍ය ප්‍රකාශකයෙකු පත් කිරීමට ද අග්‍රවිනිශ්චයකාර මොහාන් පිරිසට බලයක් නොමැති බව ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුව චෝදනා කරයි.

“ඊයේ දින මාධ්‍ය හමුවට පැමිණි විජයරත්න කොඩිප්පිලි නමැති නීතිවේදියකු කියා ගන්නා පුද්ගලයකු අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස නිවේදනයක් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනය අදාළ පුද්ගලයා නිකුත් කර තිබුණේ අග්‍රවිනිශ්චයකාරවරයාගේ නිල ලිපි ශීර්ෂය උපයෝගී කර ගෙන. මේක නීති විරෝධී ක්‍රියාවක්,” නීතිවේදී ජේ.සි.වැලිඅමුණ පැවසුවේය.

අග්‍රවිනිශ්චයකාරවරයාට මාධ්‍ය ප්‍රකාශකයකු පත් කිරීමට බලය ලැබුණේ කෙසේද? කුමන රෙගුලාසිය යටතේද? අදාළ පත් කිරීම සිදු කර තිබෙන්නේ කෙසේද? යන ප්‍රශ්න පැන නගින බව ඔහු ප්‍රකාශ කළේය.

“ඒ නිසා අධිකරණයේ ගෞරවය තවදුරටත් කෙලෙසීමකින් තොරව තනතුරෙන් ඉල්ලා අස් වන මෙන් අපි අගවිනිසුරුගෙන් ඉල්ලා සිටිනවා,” නීතිවේදී වැලිඅමුණ සඳහන් කළේය.

නීතිවේදීන්ගේ එකමුතුවේ ජ්‍යෙෂ්ඨ සාමාජික නීතිවේදි ගුණරත්න වන්නිනායක අදහස් දක්වමින් අගවිනිසුරු ධුරයට පත් වන පුද්ගලයකු සිය තනතුරේ ගෞරවය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කළ යුතු බව කියා සිටියේය.

අධිකරණයේ ස්වාධීනත්වය

දේශපාලකයන් සමග විදේශ සංචාරවල නිරත වන විනිසුරුවරුන්ගෙන් අධිකරණයේ ස්වාධීනත්වයක් අපේක්ෂා කිරීමට නොහැකි බවයි ඔහු පැවසුවේ.

“ජනතාව ලබා දුන් වරම උපයෝගී කර ගනිමින් වත්මන් අග විනිසුරුවරයා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කලයුතුයි. අගවිනිසුරුවරයා සමග ගනුදෙනු කිරීම් පසෙක තබා ඔහු ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි,” නීතිවේදී ගුණරත්න වන්නිනායක චෝදනා කළේය.

මෙම චෝදනා පිළිබඳව අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස්ගේ මතය විමසීමට සංදේශය උත්සාහ කළද එම උත්සාහය සාර්ථක වුයේ නැත.