ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'කොළඹට තානාපතිවරයෙක් ආවේ අබ්දුල්ලා රජු නිසා'

ශ්‍රී ලංකාවට සෞදි තානාපති කාර්යාලයක් ලැබුණේ (එවකට ඔටුන්න හිමි කුමාරයා වූ) අබ්දුල්ලා රජුගේ සෘජු මැදිහත් වීම නිසා බව සෞදියේ හිටපු තානාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවට සෞදි තානාපති කාර්යාලයක් ලබා දෙන මෙන් එවකට ඔටුන්න හිමි කුමාරයා වූ අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් (මිය ගිය අබ්දුල්ලා රජතුමා) හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ තමා ඉල්ලීමක් කළ බවයි වසර 1995 දී ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සෞදියට ගිය ජාවිඩ් යුසුෆ් කියා සිටියේ.

‘ලංකාවට ආපු පළමුවැනි සෞදි තානාපතිවරයා මට හමු වුනා. එයා කොළඹට එන්න කලින් ඒ රටේ විදේශ අමාත්‍යංශ වාර්තාව කියවල තිබුනා. ලංකාවේ තානාපති කාර්යාලයක් අරින්න කියල අබ්දුල්ලා රජතුමා නියෝග කර තිබූ බව ඒ වාර්තාවේ තිබුනා කියල ඔහු මට කිව්වා.’ සෞදියේ හිටපු තානාපති ජාවිඩ් යුසුෆ් බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවකදී පැවසීය.

'නමට පමණක් නොව'

එවකට ඔටුන්න හිමි කුමාරයා වශයෙන් සිටියත් අබ්දුල්ලා රජු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමු වෙන්නේ ‘නමට පමණක් නොවන බව’ තමා එයින් තේරුම් ගත් බවයි සෞදියේ හිටපු තානාපති ජාවිඩ් යුසුෆ් තවදුරටත් කියා සිටියේ. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න.

පෙනහළු ආබාධයකින් පෙළුණු අබ්දුල්ලා රජු මිය යන විට වයස අවුරුදු අනූව සපුරා සිටි අතර ඔහුගේ සහෝදරයා වන සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞඩ් සෞදි අරාබියේ අභිනව රජු වශයෙන් පත් විය.