ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලංකා සම සමාජ පක්ෂය ස්වාධීන ස්ථාවරයක

නව රජයේ දින සියයේ කාලය නිම වීමත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට සුදානම්ව තිබියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් කොටස් කරුවන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දුරස්ථව කටයුතු කිරීමේ සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම කණ්ඩායමට මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංස , ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණ, ඊ පී ඩී පී නායක ඩග්ලස් දේවානන්ද සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පෙරමුණේ නයක් වාසුදේව නානායක්කාර යන පිරිස අයත් වෙයි.

ලංකා සම සමසමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ සංදේශයට පැවසුවේ ලංකා සම සමාජ පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටස් කරුවකු නොවන බවත් සන්ධාන රජයේ කොටස් කරුවකු පමණක් වන බවත්.

කලින් සන්ධාන රජයේ කොටස් කරුවකු ලෙස ක්‍රියා කලත් දැන් සම සමාජ පක්ෂය ලෙස විරුද්ධ පක්ෂයේ වාඩිවීමට තීරණය කොට ඇති බවයි ඔහු පැවසුවේ.

මින් පසු පාර්ලිමේන්තුවේදී තම මතය පක්ෂයක් වශයෙන් ස්වාධීනව ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කළේය.

යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ලංකා සම සමාජය පක්ෂය දරන මතයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය නොකලත් තමන් එම මතයේ පිහිටා සිටින බවයි ලංකා සම සමසමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ තවදුරටත් කියා සිටියේ.

-