ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උමා ඔය හැරවීම 'වහාම නවත්තන්න'

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වහා නවතා දමන ලෙස ඉල්ලා බණ්ඩාරවෙල වැසියෝ උද්ඝෝෂණයේ යෙදෙති.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල නගරය සහ ඒ අවට ප්‍රදේශයේ පවතින ශීත දේශගුණයට බලපෑම් සිදු වන බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ දේශගුණයට සිදු වන බලපෑම් හේතුවෙන් එම කලාපය කාන්තාරයක් බවට පරිවර්තනය වීමේ අවදානමක් ඇති බවට ප්‍රදේශවාසීහු බිය පළ කරති.

‘උල්පත් හිඳිලා ගිහින් තියනවා. ළිං හය හත්සීයකට ආසන්න ප්‍රමාණයක් හිඳී ගිහින් තියනවා. එතකොට ගොවිතැනෙන් ජීවිකාව ගෙන යන ජනතාවගේ ගොවිතැන අඩාල වෙලා තියනවා’ යනුවෙන් උද්ඝෝෂණයේ සංවිධායකවරයෙක් වෙන දේවක පැවසුවේය.

‘කුඹුරු ඔක්කොම ඉරි තලලා. ගෙවල් වල ඉන්න විදියක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය අඩාලයි. මේ බහුකාර්ය ව්‍යාපෘතියෙන් කිසිම සෙතක් මේ ප්‍රදේශයට වෙලා නැහැ’ ඔහු කියා සිටියේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විධායක බලතල යොදා ගනිමින් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව පවසන උද්ඝෝෂකයෝ එහි වැඩ වහා නතර කරන මෙන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටිති.

ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරු ඇතුළු සිංහල, දෙමළ සහ මුස්ලිම් විශාල පිරිසක් උද්ඝෝෂණයට එක් වී සිටි බවයි ප්‍රාදේශීය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සංදේශයට කියා සිටියේ.

කිලෝමීටර හතරකට ආසන්න දුරකට හාරා ඇති උමා ඔය භූගත උමඟේ සම්පුර්ණ දුර කිලෝමීටර පහළොවක්.