ලංකාවේ රාජ්‍ය දූතයන් යුරෝපයේ

Image copyright AFP

යුද සමයේ සිදු වූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සොයා බැලෙන ජාත්‍යන්තර පරීක්ෂණය වෙනුවට විකල්ප මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති උපදේශක ජයන්ත ධනපාල ජිනීවා නුවර බලා පිටත්ව යයි.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට රට තුළ සිදු කෙරෙන දේශීය පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබා ගැනීම දැනට යෝජනා වී ඇති එක් විකල්පයක් බව විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත හා සාකච්ඡාවකට එක් වෙමින්.

අගතියට පත් පාර්ශවයන්ට යුක්තිය පසිඳලීම සහතික කිරීම සඳහා නව රජය කැප වී සිටින බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

‘ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට වැඩිම පීඩනයක් එල්ල වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ යෝජනාවලියෙන් බව රහසක් නොවෙයි’ විදේශ අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී වොෂින්ටනය බලා යෑමටද නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයට යුරෝපා හවුල පනවා ඇති තහනම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර බ්‍රසල්ස් නුවරට ගොස් සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර