ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අභියාචනාධිකරණය කේපි පිළිබඳ වාර්තා ඉල්ලයි

කොටි සංවිධානයේ හිටපු නායක කුමාරන් පද්මනාදන් පිළිබඳව මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කරයි.

කුමාරන් පද්මනාදන් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය කළේ.

පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ කියා සිටියේ 2012 වසරේ කුමාරන් පද්මනාදන් අත් අඩංගුවට ගත් බව රජය ප්‍රකාශ කළද ඔහු මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර චෝදනා ගොනු කර නොමැති බවයි.

එමෙන්ම කුමාරන් පද්මනාදන් සතුව කොටි සංවිධානයට අයත් නැව් 07 ක් සහ කෝටි ගණනක මුදල් හමුවී ඇති බව මිට ඉහත රජය ප්‍රකාශ කළද ඒවා අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බවට ඔහු චෝදනා එල්ල කළේය.

ජාතික ආරක්ෂාව

කුමාරන් පද්මනාදන් අත් අඩංගුවට ගනු ලැබුවොත් ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදු විය හැකි බවට හිටපු අමාත්‍ය විමල් විරවංශ කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ විජිත හේරත් මන්ත්‍රීවරයා;

“කේ.පි.අත්අඩංගුවට ගැනීම තුළින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල වන්නේ නැහැ. ඉන් තර්ජනයක් එල්ල වන්නේ රාජපක්ෂ පවුලට සහ ඔවුන්ගෙන් යැපෙන විමල් විරවංශ වැනි පුද්ගලයින්ට පමණයි,” ඔහු චෝදනා කළේය.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා අධිකරණය හමුවේ කියා සිටියේ කුමාරන් පද්මනාදන් නමැත්තා සතුව විදේශ ගමන් බලපත්‍ර 17 ක් පවතින බවයි.

තහනම් නියෝගයක්

එම නිසා ඔහු රටින් පලා යාමේ අවදානමක් පවතින බැවින් රටින් පිටවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය මෙම නඩුව හදිසි කටයුත්තක් සේ සලකා ලබන පස් වැනිදා විභාගයට ගන්නා බවත් එදිනට මිට අදාලව නියෝගයක් කරන බවත් කියා සිටියේය.

එදිනට කුමාරන් පද්මනාදන් පිළිබඳව සිදු කල පරීක්ෂණ පිළිබඳව කරුණු දක්වන මෙන් නීතිපතිවරයාට නියම කල අධිකරණය ඒවා සලකා බැලීමෙන් පසුව ඉදිරි නියෝග නිකුත් කරන බව තවදුරටත් ප්‍රකාශ කළේය.