ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'සභාපති වෙනස් කළාට මාධ්‍ය වෙනස් වෙන්නේ නෑ'

ප්‍රතිපත්තිමය වෙනසක් සිදු නොවී සභාපතිවරුන් වෙනස් වූ පමණින් රාජ්‍ය මාධ්‍යවල කිසිදු වෙනසක් ඇති නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

නව රජය යටතේ තමන් හමුවේ ඇති අභියෝගය වන්නේ මෙම ප්‍රතිපත්තිමය වෙනස සහතික කර ගැනීම බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු සුනිල් ජයසේකර කියා සිටියේ.

නව රජය බලයට පත් වීමෙන් අනතුරුව අද දක්වා රජයේ මාධ්‍යවල පැහැදිලි වෙනසක් සිදු වී නැති බවයි බීබීසියේ තිසර රතුවිතාන සමඟ පැවති සාකච්ඡාවක දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර කියා සිටියේ.

වෙනස

‘මම එහෙම වෙනසක් දකින්නේ නැහැ. ඇත්තටම එහෙම ලොකු වෙනසක් දකින්න පසුබිමකුත් නැහැ. සභාපතිවරු පත් වුනා කියල ආයතනවල වෙනසක් දකින්න බැහැ, ප්‍රතිපත්තිමය වෙනසක් වෙනසක් අවශ්‍යයි.’ ඔහු පැවසීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව රජයේ මාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හමු වී සිය ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි එම සංවිධානයේ කැඳවුම්කරු මෙම සාකච්ඡාවට සහභාගී වූයේ.

ජනමාධ්‍ය අමාත්‍ය

ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නිදහස සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ කරුණුවලට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් සාධනීය ප්‍රතිචාරයක් පළ වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සහ අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන සමඟ පැවති සාකච්ඡාවේ දී රාජ්‍ය මාධ්‍ය, මහජන මාධ්‍ය බවට පත් කිරීමේ අවශ්‍යතාව ද තමන් අවධාරණය කළ බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර බීබීසීයට කියා සිටියේ.

එල්ල වූ ප්‍රහාර

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ යුතු බවට කළ යෝජනාවට ද ඇමතිවරයා එකඟතාව පළ කළ බවයි ඔහු කියා සිටියේ.

පුවත්පත් මණ්ඩලය අහෝසි කර ඒ වෙනුවට පුවත් පත් පැමිණිලි කොමිසම ආරම්භ කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව රජයේ මාධ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

‘ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් සභාවක් නිර්මාණය කිරීම පිළිබඳ අදහසට ඔහු එකඟ වුනා. අපි ඒක ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුව මත කටයුතු කරනවා.’ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර පැවසීය.