ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගවිනිසුරුවරිය හදිසියේ විශ්‍රාම ගන්නේ ඇයි?

අද, බදාදා යළිත් ධුරයේ වැඩ බාර ගත් නමුත් හෙට, බ්‍රහස්පතින්දා පදවියෙන් විශ්‍රාම ගන්නා බව අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක ප්‍රකාශ කොට තිබේ.

මේ හදිසි ක්‍රියා මාර්ගය පිළිබඳව ඇය විසින් හේතුවක් ඉදිරිපත් කොට නොමැත.

අධිකරණයේ ස්වාධීනත්වය

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් තනතුරෙන් විශ්‍රාම ගැනීමට අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක විසින් තීරණයකට එළඹ ඇති බව දැන ගන්නට ඇති බවයි මේ හදිසි ක්‍රියා මාර්ගය පිළිබඳව අදහස් දක්වන ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ ප්‍රකාශ කළේ.

ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරිය ලෙස ධුරයේ වැඩ කිරීමට යොමු වුනොත් ඉදිරියේ ප්‍රශ්න පැන නැගිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊට හේතු වශයෙන් ඔහු දක්වන්නේ, ශ්‍රී ලංකාවේ නීතිඥයන්ගෙන් අති බහුතරය ඇය යළි ධුරයේ පිහිටුවීමට විශාල මෙහෙවරක යෙදුණු බවත් එවැනි තත්වයක් යටතේ එම නීතිඥයකු ඉදිරිපත් වන නඩු විභාගයක ඇගේ විනිශ්චයේ දී සාධාරණය ඉටු වන්නේද නැද්ද යන ගැටලුව නිර්මාණය විය හැකි බවයි.

චෝදනා

එසේම ඇය අගවිනිසුරුවරිය වශයෙන් කටයුතු කාලයේ දී කලින් පැවතී රජයට පක්ෂපාතී ලෙස කටයුතු කල බවට චෝදනා එල්ල වන බව ප්‍රකාශ කල ඔහු 18 වැනි සංශෝධනය ගෙන ආ විට ජනමත විචාරණයකින් තොරව එය සම්මත කර ගැනීමට ඇගෙන් සහය පලවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.