ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුරුණෑගල පරිසර හානිය ගැන ගුවන් හමුදාවට චෝදනා

ගුවන් හමුදා භට කණ්ඩායමක් විසින් අවට පරිසරය විනාශ කරමින් සිටින බව කුරුණෑගල බිංගිරිය එක්සත් ගොවි සංවිධානය චෝදනා කරයි.

බිංගිරිය එක්සත් ගොවි සංවිධානයේ සභාපතිනිය සුමනාවතී පින්නවල ප්‍රකාශ කළේ ගුවන් හමුදා නිල ඇඳුමින් සැරසුණු ගුවන් භටයන් හා නිලධාරීන් මේ විනාශය සිදු කරමින් සිටින බවයි.

කුඹුක් සහ මාර ගස් මේ භට කණ්ඩායමේ ප්‍රධාන ගොදුර වන අතර ඊට අමතරව ඉඩම් කීපයක වැලි, මැටි මහා පරිමාණයෙන් කපන බවයි සුමනාවතී පින්නවල කියා සිටියේ.

තමන් විසින් ඉකුත් සතියේ බදාදා දින මේ පිළිබඳව බිංගිරිය පොලිසියට පැමිණිලි කළ පසු නැවත මේ විනාශය නොකරන බවට ගුවන් හමුදා නිලධාරීන් පොරොන්දු වුවත් අද වන තෙක් එය නවත්වා නැති බවයි සුමනාවතී පින්නවල කියා සිටියේ.

මේ ජාවාරම රජයේ අවශ්‍යතාවක් මත සිදු කරන බව පෙන්වීමට ගුවන් භටයන් උත්සාහ කලත් මේ පිටු පස ඇත්තේ හෝටල් තැනීමේ ව්‍යාපෘතියක් බව තමන් දන්නා බවද සුමනාවතී පින්නවල බිංගිරිය එක්සත් ගොවි සංවිධානයේ සභාපතිනිය වැඩි දුරටත් කියා සිටියාය.

වගකීම

බිංගිරිය කොලමුනු ඔය මගින් පෝෂණය වන වැව් ගණන දහතුනක් වන අතර එමගින් අස්වද්දන කුඹුරු අක්කර ප්‍රමාණය දහසකට ආසන්නයි.

සංදේශය වාර්තාකරු ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න 28 වන බදාදා දහවල් මේ ප්‍රදේශයේ සිදු කළ සංචාරයේ දී දැක ඇත්තේ ඉඩම් කීපයකම "හමුදාව සතු ඉඩමකි - ඇතුළු වීම තහනම් " යනුවෙන් බෝඩ් ලෑලි සවි කර ඇති අයුරුයි.

ඔහු පවසන්නේ වසරකට වැඩි කාලයක සිට මේ විනාශය සිදු කර ඇති බව පෙනී ගිය බවයි.

මේ විනාශය සිදු කරන ගුවන් භට කණ්ඩායම භාරව ක්‍රියා කළ ගුවන් හමුදා නිලධාරියා ප්‍රකාශ කළේ වත්මන් ආරක්ෂක ලේකම් වරයාද මේ ගස් ,මැටි , වැලි කැපීම් වලට අනුමැතිය දී ඇති බවයි.

එහෙත් එම අවසර ලබා දීමේ ලිපිය මාධ්‍යයට හෝ ගැමියන්ට පෙන්වීම ගුවන් හමුදා නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කෙරිණ.

යහපාලනය යටතේ පිටිසර සුන්දර ගම්මාන වල පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ කාටද යන්න ප්‍රදේශ වාසීහු ප්‍රශ්න කරති.