පැකර් කැසිනෝ ව්‍යාපෘතිය අවලංගුයි

Image caption එක්සත් ජාතික පක්ෂ දියත් කළ කැසිනෝ විරෝධී උද්ඝෝෂණයක්

සූදු ව්‍යාපාරයේ ධන කුවේරයකු වන ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් ගේ ක්‍රවුන් සමාගම කොළඹ ආරම්භ කිරීමට සැලසුම් කොට තිබූ කැසිනෝ ව්‍යාපාරය ඇතුළු ඩොලර් මිලියන 350 ක හෝටල් ව්‍යාපෘතිය අවලංගු කළ බව එම සමාගම පවසයි.

සුඛෝපභෝගී කාමර 450 කින් යුත් හෝටලයක් ඇතුළු සංචාරක කලාපයක් ඉදිකිරීමට ව්‍යාපාරික ජේම්ස් පැකර් සැලසුම් කොට තිබුණු අතර කොළඹ නගරය කලාපීය කැසිනෝ මධ්‍යස්ථානයක් බවට පත් කෙරෙන මෙම ව්‍යාපෘතියට කලින් පැවතී එකත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් බදු සහන ලබා දෙන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රජය විසින් ඊයේ, බ්‍රහස්පතින්දා එම ව්‍යාපෘතියට ලබා දී තිබූ බදු සහන කපා දැමිණ.

නව රජයේ තීරණයට අනුව ව්‍යාපෘතිය නතර කරන බව ක්‍රවුන් සමාගමේ ප්‍රකාශකයකු විසින් විද්‍යුත් තැපෑලෙන් තහවරු කල බව ඒඑෆ්පී පුවත් සේවය පැවසුවේය.

සමාගම ඉදිකිරීම් ආරම්භ කොට නැති නමුත් ඊට 2013 වසරේදී ඉකුත් රජයේ අවසර ලැබී තිබිණ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ, බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම ව්‍යාපෘතියට ලබා දී තිබු බදු සහන සංශෝධනය කොට ඇති අතර කැසිනෝ ව්‍යාපාරය සඳහා දී තිබු අනුමැතිය අවලංගු කොට ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ඉල්ලමින් බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් විරෝධතා ව්‍යාපාර දියත් කළහ.