ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බ්‍රිතාන්‍ය ඇමති රජය කෙරෙහි විශ්වාසය තබයි

යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුවට අවශ්‍යතාවක් ඇති බව තම තෙදින සංචාරය තුළ පැවති සාකච්ඡා මගින් පෙනී ගිය බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් පවසයි.

සිය නිල සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර තම සංචාරය පිළිබඳව බීබීසියේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග පැවති සාකච්ඡාවකදීයි ඔහු මේ බව පැවසුවේ.

අමාත්‍ය හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වන අතර නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව මෙරටට බටහිර රටකින් පැමිණි ප්‍රථම රාජ්‍යතාන්ත්‍රිකයා ද ඔහු වේ.

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් මෙම සංචාරය තුළදී නව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම උතුරු පළාත් මහා ඇමතිවරයා ද හමු විය.

බීබීසියට අදහස් දක්වමින් අමාත්‍ය හියුගෝ ස්වයර් නව රජයේ දින 100 වැඩපිළිවෙළ ගැන සිය ප්‍රසාදය පළ කළේය.

මානව හිමිකම් ගැට‍ළු

තමන් පසුගිය වර ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවට වඩා මෙවර ශ්‍රී ලංකාවේ වාතාවරණය වෙනස් වී ඇති බව පැවසූ අමාත්‍යවරයා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව පුනරුත්තාපනය කිරීමේ අවශ්‍යතාවක් නව රජයට ඇති බවද පැවසුවේය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන වාර්තාව මේ වන විට සකස් කර අවසන් වීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මඩුල්ලට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබා නොදීම කණගාටුදායක බවයි පෙන්වා දෙන්නේ.

සියලු ජාතින් එක්ව ජීවත් විය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවශ්‍ය නම් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වූ විවිධ සිදුවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව බ්‍රිතාන්‍යයේ ස්ථාවරය වන අතර නව රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවයි ඔහු පැවසුවේ.

මානව හිමිකම් සම්බන්ධයෙන් මතු වී ඇති ගැට‍ළු විසඳීමට නව රජයට කාලය අවශ්‍ය බව තමන් පිළිගන්නා බව පැවසූ අමාත්‍ය හියුගෝ ස්වයර් දින 100 වැඩසටහනෙන් පසු පැවැත්වෙන මැතිවරණය ජය ගෙන පත් වන රජයට මෙම ප්‍රශ්න සඳහා සම්පුර්ණ විසඳුම් ලබා දිය හැකි බවයි පෙන්වා දෙන්නේ.

ප්‍රබන්ධ කතාවක්

මහින්ද රාජපක්ෂ රජය පෙරළා දැමීමට බටහිර රටවල් වර්තමාන රජයට උදව් කළ බවට ඇතමුන් නගන චෝදනාව ප්‍රබන්ධ කතාවක් පමණක් බව පැවසූ අමාත්‍ය හියුගෝ ස්වයර්, බ්‍රිතාන්‍ය රජය කිසි අවස්ථාවක ශ්‍රී ලංකාවේ රජය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නො තිබූ බව අවධාරණය කරමින් කියා සිටියේ ඕනෑම රටක පවතින රජය සමග කටයුතු කිරීම තම ප්‍රතිපත්තිය බවයි ඔහු පැවසුවේ.