ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"කුමාර් ගුණරත්නම් පිටුවහල් නොකරනු"

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට රජය සුදානම් වන බවට චෝදනා කරමින් එම පක්ෂය අද, සෙනසුරාදා උද්ඝෝෂණයක් දියත් කොට තිබිණ.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස්වූ එම පක්ෂයේ ආධාරකරුවන් උද්ඝෝෂණයක නිරත වෙමින් අවධාරණය කර සිටියේ සිය පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතීන් උදුරා ගැනීමට රජය උත්සාහ කරන බවයි.

උද්ඝෝෂණයට එක්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, ආගමන නීතිරීති උල්ලංඝනය කරමින් කුමාර් ගුණරත්නම් මෙරට දේශපාලන කටයුතුවල නිරතවන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

දේශපාලන අයිතීන්

“මේක ආගමන විගමන ප්‍රශ්නයක් නොවෙයි. විකල්ප දේශපාලන මත වළක්වාලීම සඳහායි රජය මෙම ක්‍රියා මාර්ගය තෝරා ගෙන තිබෙන්නේ. මේක කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතීන් උදුරාගැනීමට දරන උත්සාහයක්.” ඔහු චෝදනා කළේය.

ලංකා නව සමසමාජ පක්ෂයේ දේශපාලන සභික ධර්මසිරි ලංකාපේලි අදහස් දක්වමින් පැවසුවේ මේ පිටුපස දේශපාලන අරමුණකට එහා ගිය අරමුණක් තිබිය හැකි බවට සැක කරන බවයි.

“ජිවිත තර්ජන නිසා විදේශ ගතව සිටින ලාංකිකයින්ට දිවයිනට පැමිණෙන මෙන් රජය ඉල්ලා සිටිනවා. එසේ තිබියදී ශ්‍රී ලංකාවේ උපන් කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීමට උත්සාහ කරනවා”

මෙම චෝදනාව පිළිබඳව ආගමන සහ විගමන පාලකවරයාගේ අදහස විමසීමට උත්සාහ කලද එම උත්සාහය සාර්ථක වුයේ නැත.