හාමුදුරුවෝ කළේ ජරාම ජරා වැඩක් - ගම්වැසියෝ

ළමා අපචාර චෝදනා ලැබ අත්අඩංගුවේ පසු වන අම්පාර නවගම්පුර ඇත්පිටියේ චන්දානන්ද නමැති භික්ෂූන් වහන්සේට එරහිව ගම්වැසියෝ උද්ඝෝෂණයේ යෙදෙති.

අත්අඩංගුවේ පසු වන භික්ෂූන් වහන්සේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට නැවත ගමට ඒමට ඉඩ නොදෙන මෙන් උද්ඝෝෂකයෝ පොලිසියෙන් ඉල්ලා සිටිති.

ශාසනයට පූජා කළ සිය දරුවන්ට අපරාධයක් සිදු වී ඇති බැවින් තම දරුවා උපැවිදි කළ බව උද්ඝෝෂණයට එක් වී සිටි එක් මවක් පැවසුවාය.

‘අපේ දරුවෝ එතනට පූජ කරලා ශාසනයට අත දෙන්න තමයි අපි කැප වුණේ. ලොකු අසාධාරණයක්, කවුරු කොහොම කිව්වත් සත්‍ය වශයෙන්ම දරුවන්ට මේ අපරාධය වෙලා තියනවා’ යැයි ඇය පැවසූ බව වසන්ත චන්ද්‍රපාල අම්පාරේ සිට වාර්තා කළේය.

ළමා අපචාර චෝදනා ලත් භික්ෂුවගේ ක්‍රියාකලාපය, අම්පාර ප්‍රදේශයේ පිහිටි සියලු පන්සල්වලට අපකීර්තියක් ගෙන දී ඇති බවයි උද්ඝෝෂණයට එක් වී සිටි ජීආර් ප්‍රනාන්දු පැවසුවේ.

‘හාමුදුරු කෙනෙකුගෙන් විය යුතු වැඩ නෙවෙයි. මෙයා ගමට එවන්න එපා. ගමට එව්වොත් ගමේ මිනිස්සු මොනා කරයිද දන්නේ නැහැ. මේ පන්සලේ බුදු දහමට එරෙහිව සිදු වන ක්‍රියාදාම තියෙන්නේ’ ඔහු කියා සිටියේය.

‘අපි ඉඳුල් නොකර දානේ ටික උයාගෙන ඔය පන්සලට අරන් යන්නේ. ඒ හාමුදුරුවෝ කළේ ජරාම ජරා වැඩක්. සිව්රක් පෙරවගෙන ඔය වගේ ජරා වැඩක් කළා කියන්නේ මොකටද ඔය හාමුදුරුවෝ’ යනුවෙන් උද්ඝෝෂණයට එක් වී සිටි එම් කල්‍යාණි පැවසුවාය.

ළමා අපචාර චෝදනා ලත් භික්ෂූන් වහන්සේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ගම්වැසියන් ඉදිරියේ සහතික වූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර