කප්පම් ගන්න දරුවන් පැහැර ගත්තා - ත්‍රි'මලේ මව්වරු

Image copyright AFP

යුද සමයේ අතුරුදහන් වූ සිය දරුවන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කර දෙන මෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මව්වරුන්ගේ සංගමය වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

දෙදහස් අට සහ දෙදහස් නවය යන වසරවලදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පදිංචිව සිටි තම ඥාතීන්ගේ අතුරුදහන් වීම්වලට රජයේ හමුදා සහ අතුරු හමුදා සම්බන්ධ බවට එම සංගමය චෝදනා කළේය.

‘දෙදහස් අටේ ඉඳන් දෙදහස් නවයේ අන්තිම වෙනකන් දෙසිය විසිපහක් අතුරුදහන් වෙලා තියනවා. පොලිසියට පැමිණිලි කරන කොට පැමිණිල්ල භාර ගන්නේ නැහැ. අපි හොරෙක් වගේ ඒගොල්ලන් බලනවා’ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මව්වරුන්ගේ සංගමයේ සභාපතිනිය පැවසුවාය.

සභාපතිනිය ඇතුළු එම සංගමයේ අනෙකුත් මව්වරු සිය අනන්‍යතාව හෙළි කිරීමෙන් වැළකී සිටියේ තවමත් තම සිතේ ඇති බිය පහව ගොස් නොමැති බව පවසමින්.

නැගෙනහිර ප්‍රදේශය තුළ දේශපාලනයේ යෙදෙන එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායකයන් දෙදෙනෙකුගේ අතුරු හමුදා විසින් මෙම පැහැර ගැනීම් සිදු කරනු ලැබුවේ රජයේ හමුදවලද සහාය ඇතිව බවයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් මව්වරුන්ගේ සංගමයේ සභාපතිනිය කියා සිටියේ.

පැහැර ගැනීම් සිදු කළ පුද්ගලයන්ගේ නම් සහ ඔවුන් පදිංචි ස්ථාන පිළිබඳ තොරතුරු සියල්ල තම සාමාජික මව්වරු සතුව ඇති බවත් ඇය කියා සිටියාය.

කප්පම් ලබා ගැනීමේ අරමුණින් එම පැහැර ගැනීම් සිදු කළ බවයි ඇය සඳහන් කළේ.

‘ලක්ෂ පනස් එකක් අරන් තියනවා අපි ඔක්කොගෙන්ම. පුතා ඉන්නවා සල්ලි දුන්නොත් තමයි අපි අත අරින්නේ. එක අම්මා කෙනෙක් කිරි හරක් දෙන්නව මස් කඩේට දීලා සල්ලි ගෙවලා තියනවා’ ඇය පැවසීය.

තමාගෙන් එසේ මුදල් ලබා ගත් නමුත් ඔවුන් විසින් පැහැර ගෙන යනු ලැබූ සිය ඥාතීන් යළි නිවෙස් කරා නොපැමිණි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර