ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කණ්ඩායමට ශක්තිය දෙන්න - සනත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත යුගයේ මුහුණ දුන් බොහෝ ගැටළු නිරාකරණය වී දැන් ලෝක කුසලානයට මුහුණ දීමේ අරමුණින් හොඳින් පුහුණු වී, යහපත් මානසිකත්වයෙන් සිටින බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.

පුද්ගලික මති මතාන්තර පසෙකලා, ක්‍රීඩා ලෝලීන් සමඟ එක්ව ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරන මෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා එම ඉල්ලීම කළේ බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ආබාධවලට ලක්වූ ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද් සහ සුරංග ලක්මාල් මේ වන විට සුවය ලබමින් සිටින බව පැවසූ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා, ඔවුන් සම්පූර්ණ සුවය නොලැබුවහොත් ඉදිරි දින කිහිපයේදී ඔවුන් වෙනුවෙන් ක්‍රීඩකයන් ආදේශ කිරීමට සිදු වනු ඇති බවත් සඳහන් කළේය.

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ වන විට සාර්ථකව පුහුණුවීම්වල යෙදී සිටින බවද ඔහු පැවසීය.

දිමුත් කරුණාරත්න හා ජීවන් මෙන්ඩිස් කණඩායමට ඇතුළත් කළේ කණ්ඩායමේ පුහුණුකරුවන්, නායකයා ඇතුළු සියළු දෙනා සමග සාකච්ඡා කොට කණ්ඩායමේ අවශ්‍යතාවයට අනුව බව පැවසූ තේරීම් කමිටු සභාපතිවරයා, එහි සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවද ප්‍රකාශ කළේය.

වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් ඉවත්කොට යළිත් වරක් චම්පික රාමනායක පත්කිරීමට සැරසුන බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීය.

කිසියම් ආබාධයක් හේතුවෙන් ක්‍රීඩකයෙකුට ඉවත්වීමට සිදුවුවහොත් ඊට ආදේශ කිරීම සදහා උපුල් තරංග, කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයන් 15 දෙනකු දිනපතා කොළඹදී පුහුණුවීම්වල යෙදෙමින් සිටින බවද තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.