පොරොන්දු ඉටු කරන්නැයි ආණ්ඩුවට කියන්න: ටීඑන්ඒ

Image copyright state.gov

යුද සමයේ අත්පත් කරගත් උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි පොරොන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නව ශ්‍රී ලංකා ආණ්ඩුවට පෙන්වා දෙන මෙන් අමෙරිකානු බලධාරීන් ගෙන් ඉල්ලීමක් කළ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්දිරන් ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් කොළඹ දී මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බීබීසී යේ තිසර රතුවිතාන සමඟ අදහස් දක්වමින්.

ජිනීවා යුද අපරාධ පරීක්ෂණය සහ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීම පිළිබඳවත් එහිදී අවධානයට ලක් වූ බවත් ඔහු සඳහන් කළේය.

යුද අපරාධ පරීක්ෂණයේ වාර්තාව ලබන මාසයේ නිකුත්වීමට නියමිතව තිබෙන අතර, එය නිකුත්වීමෙන් අනතුරුව වගවීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම උදෙසා විශේෂ යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳවත් සාකච්ඡාවේ අවධානයට ලක් වූ බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි එක්සත් ජනපදයේ ආකලපය නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ලිහිල්ව ඇති හඩක් පෙනී ගියේ දැයි බීබීසී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, පරීක්ෂණය දැන් නිමා වී ඇති බැවින් මේ අවස්ථාවේ එවැනි වෙනසක් සිදු විය නොහැකි බවයි.