ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අම්පාර රෝහල: කලහකාරීන් අත්අඩංගුවට

අම්පාර මහ රෝහලේ පොදු දේපළ හානි කරමින් කළහ කාරී ලෙස හැසිරුණ පුද්ගලයන්ගෙන් සිව් දෙනෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නිසා හෙට දින ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය නවතා දැමීමට පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අම්පාර ශාඛාව පවසයි.

එහි සභාපති කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් සිරිවර්ධන අද (05) දහවල් අම්පාර මහ රෝහල් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ බවයි සංදේශය වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල ප්‍රකාශ කළේ.

අම්පාර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය දුශාන්ත චන්ද්‍රලාල් ගේ මරණයේ අවසන් කටයුතු සඳහා රැගෙන යමින් සිටියදී කුපිත වූ ගම්වැසියන් අම්පාර මහ රෝහල ඉදිරිපිටදී කලහකාරී ලෙස හැසිරී තිබේ.

විනිවිද පරීක්ෂණයක්

මියගිය දුශාන්ත චන්ද්‍රලාල් ගේ බිරිඳ වන නිලන්ති කුමුදු කුමාරි උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේ දී අදහස් දක්වමින් කියා සිටියේ සිය සැමියා පාදයේ හට ගත් වේදනාවක් පදනම් කර ගෙන රෝහල් ගත කරනු ලැබූ බවත් වේදනා නාශක ලබා දීම හැරුණු කොට වෙනත් කිසිදු ප්‍රතිකාරයක් රෝහලින් ලබා නොදුන් බවයි.

අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ පවසන්නේ සිය වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයට රෝගීන් මරා දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර රෝහලේ සේවාවන්හි ගුණාත්මක භාවයේ අඩුවක් නොමැති බවයි.

වෛද්‍ය අධිකාරීවරයා තවදුරටත් කියා සිටියේ දුශාන්ත චන්ද්‍රලාල් ගේ මරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ආනන්ද ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

කලහකාරී හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් පුද්ගලයන් සිව් දෙනා පොලිසිය විසින් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද බ්‍රහස්පතින්දා ඉදිරිපත් කොට ඇති අතර මේ මස එකොළොස් වනදා තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් ලබා දී තිබේ.