ඖෂධ මාෆියාවට එරෙහි ජාතික ඖෂධ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

Image copyright AFP

ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පතට අද (05) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

ඖෂධ මාෆියාවෙන් ජනතාව ගලවා ගන්නා ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේය.

මෙම පනත ක්‍රියාත්මක කිරීම තුළින් ඖෂධ මිල ගණන් ඉතා විශාල වශයෙන් පහළ යනු ඇති බව පැවසූ අමාත්‍යවරයා මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අනුව මෙම ප්‍රතිපත්තිය සකස් වී ඇති බවයි පෙන්වා දුන්නේ.

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නව පනත ගෙන එමෙන් පසු ඕනෑම වෛද්‍යවරයෙකු ඖෂධ නිර්දේශ කිරීමේදී වෙළඳ නාමයන්ගෙන් ඉවත්ව ඖෂධීය නාමය පාවිච්චි කළ යුතු බවයි.

උදාහරණයක් ගෙනහැර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ නව පනතින් පසු වෛද්‍යවරු පැරසිටමෝල්, පැනඩෝල් ලෙස නිර්දේශ කිරීම නවතනු ඇති බවයි.

'ඖෂධ මාෆියා'

විවිධ ඖෂධ සමාගම් වෛද්‍යවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙමින් ඔවුන්ගේ ඖෂධ ප්‍රචාරණය කිරීමට උත්සාහ කරන බව පවසන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෛද්‍යවරුන් ලබා දෙන ප්‍රචාරයට වැය වන වියදමද ඖෂධ මිලට ඇතුළත් වන බවයි පවසන්නේ.

" වෛද්‍යවරුන්ට විදේශ ගමන් යන්න දෙනවා, විවිධ වරප්‍රසාද දීලා ලොකු ප්‍රචාරණයක් කරනවා, ඒකට විශාල මුදලක් වැය වෙනවා, ඒ සියළු මුදල් එකතු වෙන්නේ මේ බෙහෙත් පෙත්තට" යනුවෙන් අමාත්‍යවරයා සිය අදහස් ප්‍රකාශ කළේය.

2005 වසරේ සිට නව පනත ගෙන ඒමට උත්සාහ කළත් ඖෂධ මාෆියා සහ පසුගිය රජයේ ඉහළ දේශපාලකයන් සමග තිබූ සම්බන්ධතා හේතුවෙන් එය කළ නොහැකි වූ බවයි පෙන්වා දුන්නේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එයට විරුද්ධ වූ බවද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.

ඔසුහල් පවා හොදම බෙහෙත යයි ලබා දෙන්නේ තමන්ට වැඩිම කොමිස් මුදලක් ලබා දෙන සමාගමේ බෙහෙත බව පැවසූ අමාත්‍යවරයා මෙම තත්වයද ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමෙන් වළක්වා ගත හැකි බවයි කියා සිටියේ.

ඉදිරි වසර පහ අවසන් වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන ඖෂධ වලින් බහුතරයක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කිරීමට වැඩසටහනක් සකස් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර