ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විධායක ජනාධිපති අහෝසි වන ලියවිල්ල අත ළඟ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් ලියවිල්ල තව දින දෙක තුනකින් පක්‍ෂ නායකයන් අතට පත් කළ හැකි බව ජාතික විධායක සභාවේ සාමාජික අනුර කුමාර දිසානායක පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු කාරණා ඇතුළත් දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා අවසන් වෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

මාර්තු මස මුල් සතිය වන විට මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවද බීබීසීයේ තිසර රතුවිතාන සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී අනුර කුමාර දිසානායක පැවසීය.

'බැරි උනොත්'

‘ඉදිරි මැතිවරණයෙන් පසුව තනි අධිකාරී බලයක් සහිත පාලනයක් ගොඩ නැගෙන්නට බොහෝ ඉඩ කඩ තියෙනවා. එවැනි බලයන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් පුළුල් කරලා තවත් ආයතනවලට බලය දෙනවා වෙනුවට ඒ ආයතනවල බලය අත්පත් කර ගැනීම. ඒ නිසා මේ පාර්ලිමේන්තුවෙන් ඒක කර ගන්න බැරි උනොත් ආයේ කවදාවත් එය සිදු වන එකක් නැහැ.’ අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ ම ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසන්නේ.

'ශ්‍රීලනිපයට දිනන්න බැහැ'

මීළඟ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිසේත් ම පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීමට නොහැකි වන බවද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අවධාරණය කර සිටියේය.

‘මහින්ද රාජපක්ෂ මුදල් බලය, රාජ්‍ය බලය, මාධ්‍ය බලය සියල්ල යොදවලත් ඔහු ජනාධිපතිවරණය පරාජයට පත් වෙලා තියෙනවා. ඒවායින් සියයට විස්සක්වත් එළඹෙන මැතිවරණයේ දී ශ්‍රීලනිපයට යොදවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ශ්‍රීලනිපයට වැඩි ආසන ගණනක් දිනා ගන්න බැහැ.’ ඔහු තවදුරටත් පැවසීය.