ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පැමිණිල්ල ඉක්මනින් විභාග කරන්න -බන්ධුල

තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අල්ලස් පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කරයි.

මහින්දෝදය විද්‍යාගාර ඉදි කිරිමේ දී ටෙන්ඩර් වංචා සිදුව ඇති බව පවසමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසකට ඊයේ (5) අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ගොනු කළේය.

බන්ධුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ආමාත්‍යවරයා අල්ලස් කොමිසමේ ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් භාර දීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ මෙය තම ජිවිතයේ සිදුවූ ලොකුම අපහාසය බවයි.

දේශපාලන ව්‍යාපෘතියක්

අල්ලස් කොමිසමට යම් පුද්ගලයෙක්ට එරෙහිව ලිපි ගොනුවක් බාරදීමෙන් පසු එහි විමර්ශන ආරම්භවීමට පෙරම ආදාල පුද්ගලයා වැරදිකරු ලෙස සමාජගත කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් වර්තමාන රජය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව සිදු කරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

"අල්ලස් කොමිසමට ලිපි ගොනුව බාර දීලා ඊට පස්සේ මුළු රටේම මාධ්‍ය හරහා ඔහු හොරා කියලා සමාජ ගත කරනවා, මේක දේශපාලන ව්‍යාපෘතියක්"

මේ අතර අල්ලස් කොමිසමේ නිලිධාරියෙකු සංදේශයට පැවසුවේ පසුගිය සති තුනේදී පමණක් පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් කොමිසමට ලැබී ඇති අතර මෙපමණක් පැමිණිලි ඉක්මනින් විභාග කිරීම සදහා අල්ලස් කොමිසමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

පැමිණිලි නිසි ලෙස ඉක්මන්ව විභාග කිරීමට අවශ්‍ය නිලධාරීන් හා පහසුකම් ලබාදෙන රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු පැවසුවේ.

හිටපු ජනපතිවරයා

මේ අතර ඊයේ පැවති ආමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ හිටපු ජනපතිවරයා අනුමැතිය නොදීම හේතුවෙන් අල්ලස් කොමිසම පසුගිය රජයේ යටතේ සිදුකල පරීක්ෂණවල වාර්තා අනුව වරදිකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ඇනහිට ඇති බවයි.

" සමහර ආමාත්‍යවරු ඇතුළු කට්ටිය ගැන පරීක්ෂණ කරලා වැරදි කරු කරලත් තියෙනවා, නමුත් හිටපු ජනාධිපතිවරයා ඒ අයට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අනුමැතිය දීලා නැහැ, ඉදිරි දින කිහිපයේදී ඒ සදහා නව ජනාධිපතිතුමා නියෝගය දෙයි" ආමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේය.

මේ අතර රජය විසින් අල්ලස් කොමිසමට ඊයේ දින පත් කළ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය සදුදා දින වැඩ භාර ගැනීමට නියමිතයි.