ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නගර ව්‍යාපෘතිය යළි ඇගයුමකින් පසු - චීන නියෝජිත

කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ ශ්‍රී ලංකා රජය යළි ඇගයුමක් කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බව චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ ප්‍රකාශ කරයි.

රජයේ ඇගයුම් වාර්තා ලැබුණු පසු ඒ ගැන චීන පාර්ශවය සමඟ සාකච්ඡා කරන බවයි ඔහු අද මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශක කළේ.

යහපාලනය ඉතාමත්ම වැදගත් කොට සලකන බව පැවසූ ඔහු චීන සමාගම් දූෂණයෙන් තොර පාලනයන් සමඟ කටයුතු කිරීමට කැමැත්ත දක්වන බවත් කියා සිටියේය.

ලොකුම ව්‍යාපෘතිය

“ඕනෑම ආයෝජකයෙකු තමන්ට අවශ්‍ය යටිතල පහසුකම් තියෙනවද කියල හොයල බලනවා. ජළ සැපයුම, නැත්නම් විදුලිය ඇති තරම් නැත්නම් ඔවුන් ආයෝජනය කරන්නේ නැහැ. තම ආයෝජනයක් නීතියෙන් ආවරණය වෙන්නේ නැත්නම් ඔවුන් ආයෝජනය කරන්නේ නැහැ,” ඔහු පැවසුවේය.

චීන මහා පරිමාණ ආයෝජන ඇති කිරීමට තවත් බොහෝ දෑ සපුරාලිය යුතු බව පැවසූ චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ;

“මෙහෙමත් කියන්න ඕන, දැනටමත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. එය රටේ ආරම්භ කරලා තියෙන ලොකුම ව්‍යාපෘතිය,” යනුවෙන් කියා සිටියේය.

චීන හමුදා

චීනයත් - ශ්‍රී ලංකාවත් අතර පවතින්නේ සහයෝගිතාව සහ අනුග්‍රහය පිළිබඳ සාමාන්‍ය තත්වයක් බවත් සෑම දෙයක්ම සිදු කෙරෙන්නේ දෙරට අතර ඇති සම්මුති සහ ගිවිසුම්වලට අනුකූලව බවත් ඔහු සඳහන් කළේය.

“අපිව විශ්වාශ කරන්න. ශ්‍රී ලංකාවේ කිසියම්ම ආකාරයකින් චීන හමුදා රැඳවීමේ කිසිම අරමුණක් නැහැ,” මාධ්‍යකරුවන් අමතමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ලියු - රනිල් සාකච්ඡා

චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟද අද, සිකුරාදා සාකච්ඡා පවත්වන ලදී.

හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි, චීන - ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ සහ ජනතාවගේ යහපත උදෙසා බව චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය, චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ ජාතික සංවර්ධනය මත පිහිටා කටයුතු කරනු ඇති බවට චීනය විශ්වාස කරන බවත් දේශපාලන තත්වය වෙනස්වීම නිසා වැදගත් සහයෝගිතා ව්‍යාපෘති වලට බාධා සිදුවීමට ඉඩ නොහැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය .

කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව කර ගෙන යාමට අවසරය ලැබෙන බව රජය ඊයේ, බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බවයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේ.