ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වරාය නගරය: 'ආණ්ඩුවට එරෙහිව නඩු දානවා'

පූර්ණ පරිසර තත්ත්ව වාර්තාවක් සකස් කිරීමෙන් තොරව කොළඹ වරාය නගරය ඉදිකිරීමට නව ආණ්ඩුව කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහිව නඩු මගට යන බව පරිසරවේදීහු අනතුරු අඟවති.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිසි ප්‍රමිතියට අනුකූලව සකස් කරන පරිසර වාර්තාවක් මාර්ගයෙන් වරාය නගරය ඉදිකිරීම සඳහා නීත්‍යානුකූල අනුමැතිය ලබා ගෙන නොමැති බවයි, පාරිසරික යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ හේමන්ත විතානගේ අවධාරණය කරන්නේ.

පරිසරයට බලපාන මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී අදාළ කලාපයේ ජනතා අදහස් විමසීම අත්‍යවශ්‍ය සාධකයක් බවද ඔහු සඳහන් කළේය.

'විශ්වාසය බිඳ දැමීමක්'

"මේක නිසා ඇතිවෙන්න පුළුවන් පරිසර හානි බොහොමයක් තියෙනව. එකක් තමයි මුහුදු ඛාදනය අතිශයින්ම වැඩිපුර සිද්ද වෙන්න පුළුවන්," යනුවෙන් ඔහු සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.

Image copyright defence.lk
Image caption 'කළුගල් මිලියන කියුබ් 12 ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය වැලි මුහුදේ ඈතින් ලබා ගැනීම නිසා ධීවර කර්මාන්තයට බලපෑම් එන්න පුළුවන්'

"කොළඹ සහ අවට ප්‍රදේශයේ සේරම කළුගල් ගත්තත් ප්‍රමාණවත් නැහැ, මේකට කළුගල් මිලියන කියුබ් 12 ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය වැලි මුහුදේ ඈතින් ලබා ගැනීම නිසා ධීවර කර්මාන්තයට බලපෑම් එන්න පුළුවන්," ඔහු වැඩිදුරටත් පැවසීය.

අදාළ ව්‍යාපෘතිය පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලය මගින් සකස් කරන ලද තත්ත්ව වාර්තාවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එය ක්‍රියාවට නැගීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කමිටුවක් විසින් තීරණය කරන ලද බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

එහෙත් මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ පරිසර වාර්තාවක් සකස් කොට තිබෙන්නේ සමස්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නොව, වෙරල ගොඩකිරීම සම්බන්ධයෙන් පමණක් බව හේමන්ත විතානගේ අවධාරණය කරයි.

රාජිත - රනිල්

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් පරිසරවේදීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පරිසරය ආරක්ෂා කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් බව පවසන ඔහු, වරාය නගර ව්‍යාපෘතිය අවලංගු කරන බවට ඉන් දිනකට පසු එවකට විපක්ෂනායකවරයා වූ අගමැති රනිල් වික්‍රමසිංහ නිවේදනය කළ බවද පෙන්වා දෙයි.

Image copyright AFP
Image caption 'ව්‍යාපෘතිය ගැන අවාසන තීරණයක් නෑ'

"ඉතින් ඒක නැවත සිදුකරනවයි කියල එතුමා ප්‍රකාශ කරනවා නම්, විශ්වාසය බිඳ දැමීමක් හැටියටයි ඒක අපි දකින්නේ."

එයට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම පිණිස අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙන බවත් හේමන්ත විතානගේ බීබීසී සංදේශයට පැවසීය.

ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසාන තීන්දුවකට එළැඹි නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.