ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මීරියබැද්ද වත්තේ පවුල් ගැටලු රැසක

මීට තුන් මාසයකට පෙර නායයෑමක් නිසා අවතැන්ව, විපතට පත්ව සිටින කොස්ලන්දේ, මීරියබැද්ද වත්තේ පවුල් සියය ගණනක ජනතාව මේ වන විට ගැටලු රැසකට මුහුණ පා සිටින බව සංදේශය රත්නපුර වාර්තාකරු අජිත් ලාල් ශාන්ත උදය පවසයි.

2014 නොවැම්බර් 29 වෙනිදා සිදුවූ මීරියබැද්ද නාය යාමෙන් වතු නිවාස හැටතුනක්, කෝවිලක්, වෙළදසලක්, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඇතුළු ගොඩනැගිලි රැසක් සමගින් තිස් හත් දෙනෙක් පණ පිටින් වැළලුනි.

දේහයන් දොළහක් සොයා ගත්තත් විසි පස් දෙනෙකු තවමත් මේ මහා පස් කන්ද යට ඇති බව වැසියෝ පවසති.

මීරියබැද්ද නායගිය ස්ථානයට නුදුරුව ඇති මීරියබැද්ද දෙමළ විද්‍යාලයද නාය යාමේ අවදානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණායතනය නිගමනය කර ඇති නිසා නාය යාම සිදුවූ දින සිට මේ දක්වා වසා දමා ඇත.

පළමුවන ශ්‍රේණියේ සිට දහ වන ශ්‍රෙණිය දක්වා පන්ති පැවැත්වුණ එහි ළමයින් 250 දෙනකු පමණ අධ්‍යාපනය ලැබු බව මිරියබැද්දේ නාය යාමෙන් සිය බිරිඳ අහිමිව පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වු එම්. රාම්රාජ් පැවසුවේය.

‘‘තවම පාසල පටන් ගත්තේ නෑ. ඒ ළමයි තවමත් කොහාටවත් යන්න බැරුව ඉන්නවා. වෙන ඉස්කෝලෙකට යනවා නම් කිලෝමිටර් පහකට වැඩිය දුරකින් යන්න ඕනෑ. නාය ගිය පැත්තෙන් තමයි යන්න ඕනෑ. එතන පාර සවුත්තුයි. පාරෙන් වතුර යනවා. ඒ නිසා ඒකෙන් පොඩි ළමයි යවන්න බෑ.‘‘

මීරියබැද්ද, දියගල, ආර්නූල්, අම්රාගල, කොස්ලන්ද යන වතු කොටස් හයක පළමුවැනි ශ්‍රේණියට මේ වසරේ ඇතුල් කළ යුතු ළමයි තවමත් ගෙවල්වල සිටින බව එන්.ඥානසේකරම් පැවසුවේය.

නායයෑමෙන් මාස තුනක් ගෙවී ඇති නිසා කොස්ලන්දේ සහ පුනාගල පිහිටුවා තිබු අවතැන් කඳවුරුවලින් දැන් එම පිරිස් ඉවත්කර ඇත.

විපතින් බරපතල හානිවු මීරියබැද්දේ පදිංචි පවුල් 28ක්, වසා දමා ඇති මිරියබැද්ද රෝහල් ගොඩනැගිල්ලේ රාත්‍රී කාලය ගත කරති.

දිවා කාලයේදී ඔවුන් වැඩි දෙනෙක් වත්තේ වැඩට යති.

නායයාම නිසා ඉවත් කළ වතු නිවාසවලට දහවල් කාලයේ එන තවත් සමහරු අඳුර වැටෙත්ම යළි රෝහල් ගොඩනැගිල්ලට යන බව තිදරු මවකවූ පළනියන්ඩි සාරධා දේවී කීවාය.

නායයෑමට පෙර වත්තේ වැඩට අමතරව කිරි හරකුන් ඇති කිරීම සහ එළවලු වගාවෙන් අතිරේක ආදායමක් ලබාගත් තමන්ට දැන් ඒ ආදායම් නැති නිසා ජිවත්වීම අසිරු බවද ඔවුහු පවසති.

‘‘අපිට පඩි ලැබෙන්නේ දවසට හාරසිය පනහයි. වැඩ තියෙන්නේ මාසෙට දවස් විස්සයි. මාසෙම උපරිම දහ දාහක් විතර පඩි ගන්න පුළුවන්. ඒකත් කපලා කොටලා අතට එනකොට හත්දාහක්, හයදාහක් තමයි ලැබෙන්නේ. ජිවත් වන්න ඒ පඩිය මදියි. නාය යන්න ඉස්සර මේ ගමෙන් කිරි ලීටර් එක්දහස් පන්සියයක් දවසට දුන්නා. හරක් ටික නායට ගියා. කිරි හරකුන් මිනිස්සුන්ට දුන්නොත් ලොකු සහනයක්“

මහ පොළොව යට වැළලි ඇති විසිපස් දෙනෙකුට මරණ සහතික වසර තුනක් යන තුරු නොලැබෙන නිසා ඔවුන්ගෙන් යැපෙන්නන්ට වන්දි හෝ වෙනත් වරප්‍රසාද ලබාගැනීම ගැටලුවක් බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රී කාන්ති පැවසුවේය.

නායයෑමෙන් යටවු නිවාස වෙනුවට නව නිවාස කඩිනමින් තනා දෙන බවත් අවතැන්වුවන්ට ලැබුණ පරිත්‍යාග ගබඩා කර ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක පැවසුවේය.

මිරියබැද්ද දෙමළ විද්‍යාලය යළි විවෘත කර නොමැති නිසා දරුවන්ට විකල්ප පාසල් ලබාදී ඇති බවත් ඔහු පැවසුවේය.

වන්දි මුදල් ඉල්ලුම් කරන අයට නිකුත් කරන අතර මරණ සහතික ඉල්ලුම් කළ විට ඒවා ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.