උතුරේ ඉඩම් යළි ලබා දීමට කමිටුවක්

උතුරේ ඉඩම් අහිමිවූ ජනතාවට ඔවුන්ගේ ඉඩම් ආපසු ලබා දීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් කමිටුවක් පත්කරණ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අද, සෙනසුරාදා වවුනියාවේදී පැවසුවේය.

වවුනියාවේ ආරක්ෂක සේනාංක මූලස්ථානයට පැමිණ යුද හමුදා භට පිරිස් ඇමතීමෙන් පසුව බී.බී.සී.සන්දේශය වාර්තාකරු දිනසේන රතුගමගේ සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා එසේ කියා සිටියේය.

හමුදා කඳවුරු

හමුදා සේනාංක ඇමතූ අවස්ථාවේ දී අමාත්‍යවරයා කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත්වල පිහිටුවා ඇති හමුදා කඳවුරු ඉවත් කිරීමක් හෝ හමුදා භට පිරිස්වල කිසිදු අඩු කිරීමක් නොකරණ බවයි. මෙම ප්‍රශ්නයේදී ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ඉතා සංවේදීව කටයුතු කිරීමට රජයට හැකියාව ඇතැයිද ඔහු පැවසුවේය.

උතුරු පළාත නියෝජනය කරණ ඩී.එම්.ස්වාමිනාදන් අමාත්‍යවරයා , ආරක්ෂක අංශ ,දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සහ උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව සමඟද සාකච්ඡා කොට කිසිවෙකුටත් අසාධාරණයක් නොවන අන්දමට මෙම ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසුවේය.

උතුරේ වැසියන්ට ඉඩම් ආපසු ලබා දීම සඳහා යුද හමුදා කඳවුරු ඉවත් කිරීමේ අවශ්‍යයතාවයක් පැන නැගෙනු ඇතැයි තමා විශ්වාස නොකරණ බව කී අමාත්‍යවරයා උතුරේ ජනතාවගෙන් 80% කට වඩා මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපතිවරයා කිරීමට ඡන්දය ප්රකාශ කලේ යම් විශ්වාසයකින් යුතුව බැවින් ඔවුන්ගේ එම යටිහිතේ පැවති විශ්වාසයක් ඉටුකිරීමට රජය කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.

ඕමන්ත සීමා මුරපොල

ඕමන්ත සීමා මුරපොලේ පරීක්ෂා කිරීමේ කටයුතු දින දෙකක් පමණ නවතා දමා යළි එය ක්‍රියාත්මක කිරීමට හේතුව කුමක්දැයි විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ ඕමන්ත සීමා මුරපොල ගලවා දැමීමට ක්‍රියා නොකරණ බවයි.

කෙසේ වෙතත් උතුරේ ජනතාවට දකුණටත්, දකුණේ ජනතාවට උතුරටත් කිසිදු බාධාවකින් තොරව ගමන් බිමන් යාමට අවස්ථාව සලසා දීම රජයේ අරමුණ බැවින් ඇතැම් දිනවලදී මුරපොලේ කටයුතු ලිහිල් කරණ බවද කියා සිටියේය.

ඉදිරියේ දී යුද්ධයක් ඇතිවේදැයි නැත්දැයි යන්න ස්ථිර වශයෙන්ම කිව නොහැකි නිසා රටේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කරණ බව කී ඇමතිවරයා මේ හේතුව නිසා රටේ කිසිදු ප්‍රදේශයක යුද හමුදා කඳවුරු ඉවත් කිරීමක් හෝ හමුදා සේනාංක වල අඩුකිරීමක් සිදු නොකරණ බවද වැඩිදුරටත් කියා සිටියේය.