විදේශ හමුදා පුහුණු අවස්ථා 'යළි ලබා ගන්නවා'

විදේශ රටවල් විසින් සීමා කරන ලද හමුදා පුහුණු අවස්ථා නැවත ලබා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.

‘සමහර රටවල් අපේ ආරක්ෂක අංශවලට පුහුණු වීම් සඳහා ලබා දී තිබූ ඉඩකඩ සීමා වෙලා තිබ්බා. ඒ සීමා ඉවත් කරන්න අපේ සියලු ශක්තිය යොදවනවා’ යනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ සිය පදවියේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ප්‍රථම වරට ත්‍රිකුණාමලයේ සංචාරයක යෙදුණු අවස්ථාවේ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අඩුපාඩු සියල්ලට නව ආණ්ඩුව යටතේ විසඳුම් ලබා දෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වෘත්තීය ගෞරවයට හානි වන ආකාරයේ රාජකාරිවල යෙදවීමෙන් වැළකී සිටින බවද අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කළේය.

බටහිර රටවල් සමග ගොඩනැගෙන නව තානාපති සබඳතා හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක් වීම සඳහා අවස්ථාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි ඔහු හමුදා නිලධාරීන් හමුවේ පැවසුවේ.

හමුදා සාමාජිකයන් විසින් තේ පැන්හල් සහ මහා පරිමාණ හෝටල් පවත්වා ගෙන යෑම, සාම්පූර් තාප බලාගාරය ආශ්‍රිතව පැන නැගී ඇති ජනාවාස ගැට‍ළු, විශ්‍රාමලත් හමුදා නිලධාරියකු වන ත්‍රිකුණාමල දිසාපතිවරාට එරෙහිව ඇති ජනතා විරෝධය ඇතුළු ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළව ප්‍රදේශයේ ජනතාව අතර පැන නැගී ඇති ගැට‍ළු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසා සිටි නමුත් ඔහු ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ බව ආර්ජී ධර්මදාස කන්තලේ සිට වාර්තා කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර