බරපතළ ලෙස මට පහර දුන්නා - ශාජාහි ශ්‍රී ලාංකිකයෙක්

Image copyright AFP

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාජා නගරයේ සේවය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික තරුණයන් පස් දෙනෙකු හාම්පුතුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව ඔවුන්ගේ දෙමාපියෝ පවසති.

බරපතළ ලෙස පහර කෑමට ලක් වී සිටින තමාට මේ දක්වා නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝගී තත්වය උත්සන්න වී තිබෙන බව ඉන් එක් තරුණයකු දුරකතනයෙන් කතා කොට පැවසූ බව ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සංදේශයට කියා සිටියේය.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව වයික්කාලේ උදාර චතුරංග නමැති විසිපස් හැවිරිදි තරුණයෙකි .

අනෙක් තරුණයන් පුත්තලම කරුවලගස්වැව , වෙන්නප්පුව දන්කොටුව , මීගමුව සහ කුලියාපිටිය ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

උදාර චතුරංග සංදේශයට කියා සිටියේ වැටුප් අඩුවෙන් ගෙවීම පිළිබඳ විමසා සිටි අවස්ථාවේ තමාට බරපතළ ලෙස පහර දුන් බවයි.

මේ වන විට තමාට අහරට කිසිත් නොදෙන බවත් පසුගිය දින කිහිපයේ බිස්කට් කීපයක් පමණක් ලැබුණ බවත් උදාර චතුරංග පැවසිය .

ශාන් ඉන්ටනැෂනල් නමැති ආයතනයක උදාර චතුරංග ඇතුළු ඉහත කී තරුණයන් සේවය කර ඇති බවයි ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සංදේශයට කියා සිටියේ.

ඉහත කී ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන වෙන්නප්පුවේ ට්‍රාන්ස් ඇරබියන් විදේශ රැකියා ආයතනයේ කළමනාකරු එස් ඒ ලෝරන්ස් සංදේශය කළ විමසීමේදී පැවසුවේ මෙම පහර දීම හෙළා දකින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර