ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂ්මන්ත චමීර

Image copyright AFP
Image caption තුවාල ලැබූ ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂ්මන්ත චමීර ලෝක කුසලාන කණ්ඩායමට

එළැඹෙන ලෝක කුසලාන තරඟාවලියට පුහුණුවෙමින් සිටින අතරවාරයේ තුවාල ලැබූ ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂ්මන්ත චමීර ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කණ්ඩායමේ කළමනාකාරිත්වය සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එම තීරණයට එළඹුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ තීරණය ජගත් පාලක මණ්ඩලයේ තාක්ෂණික කමිටුව විසින් අනුමත කළ යුතු වේ.

ධම්මික ප්‍රසාද් වෙනුවට උපුල් තරංග හෝ චමීර තෝරා ගැනෙනු ඇති බවයි, මීට පෙරාතුව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ.

තුවාල ලැබූ ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ඉශාන්ත් ශර්මා වෙනුවට මෝහිත් ශර්මා තෝරාගැනීම තාක්ෂණික කමිටුව විසින් අනුමත කරන ලද බව මේ අතර ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය.