ආණ්ඩුවේ චෝදනාවලට මහින්දගෙන් පිළිතුරු

Image copyright AFP

දෙදහස් පහළොව වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් කෝටි දසදහසක මුදලක් වෙන් කොට තිබූ බවට පළ වන මාධ්‍ය වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි.

ජනතාව නොමග යැවීම සඳහා වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් සාවද්‍ය ප්‍රකාශ සිදු කරනු ලබන බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කර තිබූ ඉහත කී එම මුදල නව රජය විසින් කෝටි දෙසිය හැත්තෑ දෙක දක්වා අඩු කොට ඉතිරි මුදල් සියල්ල ජනතාවට සහන ලබා දීම සඳහා නිදහස් කළ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනපති ලේකම් කාර්යාලය සඳහා කෝටි දසදහසක මුදලක් කිසි දිනෙක වෙන් නොකළ බව කියා සිටියේය.

‘2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුළු මුදල කෝටි 959කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුව ඇතුළු රජයේ ආයතන 25 ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේ ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලු ආයතන වලට සේවා සපයන අතර ආදාළ මුදල් වලින් වැඩි කොටස වැය වන්නේ ඒ සඳහාය’ හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

විශේෂ ගුවන් යානය

ජනතා මුදල් වැය කොට ඇමරිකානු ඩොලර් මිලියන දාසයක වටිනාකමකින් යුත් විශේෂ ගුවන් යානයක් ඇණවුම් කර තිබුණු බවට ආණ්ඩුවෙන් එල්ල වන චෝදනා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

‘ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට එකී සමාගම විසින් අවශ්‍ය වූ විට ඔවුන්ගේ ගුවන් යානාවල සාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සඳහා විවිධ පහසුකම් සහිත විශේෂ කුටියක් ලෙස සැකසිය හැකි පරිවර්තන කට්ටලයක් ගැනුම්කරුට දෙන තිළිණයක් වශයෙන් ඇතුළත් කොට තිබුණි. ඩොලර් මිලියන 15ක් ලෙස එහි දී සඳහන් වූයේ එම කට්ටලය සඳහා නිෂ්පාදකවරයා සඳහන් කරන සංකේතාත්මක වටිනාකම පමණි. එය නොමිලේ ලබා දෙන තිළිණයකි’ හිටපු ජනපතිවරයා නිවේදනයෙන් කියා සිටියේය.

නිල නිවාස

සිය පාලන කාලය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රයෝජනය සඳහා රටේ විවිධ ස්ථානවල එකඳු නිල නිවසක්වත් ඉදි කර නොමැති බවත් නිවේදනයේ සඳහන්.

‘ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පළ විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22 ක් බොරැල්ලෙන් “සොයා ගත්” බවටත් තවත් වාහන 53 ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පළ විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියේය.