ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහා පරිමාණ වංචා සෙවීමට 'ජනාධිපති කොමිසමක්'

මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ සිදුකරන ලද බව පැවසෙන මහා පරිමාණ දූෂණ වංචා චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනය කළේය.

අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් ඒ බව නිවේදනය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නව පරිපාලනය බලයට පත් වී මාසයක් ගතවී ඇතත් ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පොරොන්දු වූ ප්‍රකාර දූෂණ වංචාවලට සම්බන්ධ දඬුවම් නොකිරීම පිළිබඳව ජනතාව ප්‍රශ්න නඟන බව කියා සිටියේය.

"මේ දූෂණ වංචා මහා පරිමාණයෙන් කරපු අය ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග තවමත් නැත්තේ මොකද කියන එක දැන් මටත් එක්තරා විදියකට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ," යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

'තෝරුන් මෝරුන්'

එබැවින් කිසිදු තරාතිරමක් හෝ පක්ෂ භේද නොසලකා ජනපතිවරණයේදී ප්‍රතිඥා දුන් ප්‍රකාර දූෂණවලට එරෙහිව මේ සතිය ඇතුලත නිසි පියවර ගැනීමට සූදානම් බවයි, ඔහු පවසන්නේ.

Image copyright AFP
Image caption ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ප්‍රතිඥා දුන් පරිදි දූෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ප්‍රමාද වීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන බව ජනාධිපතිවරයා පවසයි

"මහා පරිමාණයේ බරපතල වංචා දූෂණ කරපු අයට දඬුවම් දීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට බලාපොරොත්තු වෙනවා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

එම කොමිසමේ අරමුණ 'හාල්මැස්සන් හෝ සාලයන්ට' දඬුවම් කිරීම නොව, 'තෝරු මෝරුන්ට' දඬුවම් කිරීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"මම හිතන්නේ දැනටමත් ප්‍රමාද වැඩියි. ඒ නිසා ඒ අංශ භාරව ඉන්න අය වහ වහා කටයුතු කළ යුතු වෙනවා."

ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තයෙන් යැපෙන ශ්‍රී ලංකාවේ ගොවි ආර්ථිකය නගා සිටුවීම පිණිස සිය පාලන කාලය ඇතුලත විශේෂ වැඩසටහනක් දියත් කරන බවට ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා, මහවැලි කලාපයේ පෞද්ගලික ආයෝජකයන්ට ලබා දුන් ඉඩම් පිළිබඳව සමීක්ෂණයක් පවත්වන බවත් සඳහන් කළේය.

රටේ ප්‍රබල වෙනස්කම් කිරීමට බොහෝ අසීරුතා පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා, එබැවින් ඒ සඳහා සියලු දෙනාගේ 'සහෝදරත්වය සහ බැඳීම' අවශ්‍ය බව කියා සිටියේය.