ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'සී ෂෙල්ස් ආයෝජන සොයන්න ලෝක බැංකුවේ විශේෂඥයින්'

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිට කරන ලද මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම සඳහා ලෝක බැංකුවේ විශේෂඥයින් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සී ෂෙල්ස් දූපත් හි නීති විරෝධී ලෙස ආයෝජනය කර ඇති බව පැවසෙන පුද්ගලයන් පිළිබඳව විශේෂ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා බීබීසීයේ තිසර රතුවිතාන සමඟ පැවති සාකච්ඡාවක දී කියා සිටියේ.

කළු සල්ලි

‘සී ෂෙල්ස් කියන්නේ කළු සල්ලි සුදු කරන කේන්ද්‍රස්ථානයක් කියන එක කවුරුත් දන්නා දෙයක්. දැන් සී ෂෙල්ස් වල මිනිස්සු හැට දාහක් හිටියට සමාගම් තියෙනවා එක්ලක්ෂ ගණනක්. ඒ කියන්නේ එක පුද්ගලයෙකුට ආයතන දෙකක් තුනක් විතර තියෙනවා. ඒකට හේතුව තමයි එක් ආයතනයක් තුළ තවත් ආයතන කිහිපයක් ම තිබීම.’

‘හොරකම් කරන ලද ධනය නැවත ලබා ගැනීම සඳහා වූ විශේෂඥයින් ඉන්නවා ලෝක බැංකුවේ. ඔවුන් සමඟ අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. ඉන්දියාව සමඟත් මේ ගැන කතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා, ලංකාවේ ධනය කොල්ලකාපු පුද්ගලයන්ව සොයා ගෙන ඒ මුදල් නැවතත් ලංකාවට අරගෙන එන්න.’ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පැවසීය.

මාෆියාව

මේ අතරතුර කොටස් වෙළඳපළ තුළ මාෆියාවක් වේ නම් ඊට දැල එලීම සඳහා ද තම අමාත්‍යංශය කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කර අග්‍රාමාත්‍යවරයා යටතට පවරා ගැනීමට මුල් වූ එක් කාරණයක් වූයේ කොටස් වෙළඳ පළ තුළ යම් අක්‍රමිකතා සිදු වේ නම් වැරදිකරුවන් අල්ලා ගැනීම සඳහා ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දීම බවයි ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.