මෛත්‍රී මඩ දැන්වීම මගේ වරදක් නොවෙයි - රදළියගොඩ

Image copyright ITN

ජනාධිපතිවරණය සමයේ දී එවකට පොදු අපේක්ෂකයාට අපහාස වන දැන්වීම ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාගේ නියෝගය මත පළ කළ බව එහි හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදළියගොඩ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට අපහාස වන ආකාරයට බාල වයස්කාර ළමයෙකු යොදා ගෙන දැන්වීමක් ප්‍රචාරය කිරීමේ චෝදනා මත නීතිවේදියකු මාර්ගයෙන් අධිකරණයට භාර වෙමින්.

රිමාන්ඩ් භාරයට

සිද්ධියට අදාළ පරීක්ෂණ තව දුරටත් පැවැත්වෙන බැවින් සැකකාර රදළියගොඩ රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය සැකකරු ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර මිට අදාලව ස්වාධීන රූපවාහිනි සේවයේ එවකට සභාපතිවරයාව සිටි අනුර සිරිවර්ධනගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස ද පොලිසියට නියම කළේය.

සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු ද 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.