ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුමන්ත්‍රණ චෝදනාව: 'මූලික විමර්ශන අවසන්'

ජනපතිවරණයෙන් පසුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගටම බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කළ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ චෝදනාව සම්බන්ධයෙන් වැදගත් සියලු පාර්ශවයන්ගේ සාක්ෂි සටහන් කරගෙන් අවසාන බව පොලිසිය ප්‍රකාශ කරයි.

එම සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම පිණිස නීතිපතිවරයා වෙත යොමු කොට තිබෙන බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට කියා සිටියේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගෙන් මේ වන තුරු සාක්ෂි සටහන් කරගෙන නොමැති බව පිළිගත් පොලිස් ප්‍රකාශකවරයා, නීතිපතිවරයා ගෙන් උපදෙස් ලැබෙන්නේ නම් ඔවුන්ගෙන් ද සාක්ෂි සටහන් කරගැනීමට පොලිසිය සූදානම් බවත් සඳහන් කළේය.

දුමින්ද සිල්වා

Image copyright Newsfirst
Image caption දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ගෙන් 'ප්‍රශ්න කිරීම අවසන් නෑ'

මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ගෙන් ප්‍රශ්න කිරීම තවමත් අවසන් වී නැති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

මත්ද්‍රව්‍ය ජාවාරම වැනි බරපතල චෝදනාවක් එල්ල වී තිබෙන්නේ නම් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ඔහුට විරුද්ධව තවමත් චෝදනා එල්ල වී තිබෙන්නේ 'වෙලේ සුදා' නම් සැකකරු ගෙන් පමණක් බවයි.

ප්‍රමාණවත් සාක්ෂි ලැබෙන්නේ නම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොපැකිලෙන බව ඔහු අවධාරණය කළේය.

තමන්ගෙන් මුදල් ලබාගත් බවට 'වෙලේ සුදා' එල්ල කරන චෝදනාව පිළිබඳව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රතිචාරය පළ කොට නැත.