තිස්ස අත්තනායක ඇප මත නිදහස්

ව්‍යාජ ලේඛන සැකසු බවට චෝදනා ලබා රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු සෞඛ්‍ය ඇමති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඇප මත නිදහස් කොට තිබේ.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කූට ලේඛන සකස් කල බවට දැනට සිදු කළ පරීක්ෂණවලින් සාක්කි අනාවරණය නොවන නිසා ඔහු ඇප මත නිදහස් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇති බවත් ඊට අදාළ ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගත් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.

එහෙත් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවීම නිසා සැකකාර මන්ත්‍රීවරයා ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීන්දු කල බවයි විත්තියේ නීතිවේදියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ.

ව්‍යාජ ගිවිසුම

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ රජයේ නීතිවේදියා ප්‍රශ්න ගත ව්‍යාජ ගිවිසුම තුලින් සැකකරු ජාතින් අතර නොසන්සුන් තාවක් නිර්මාණය කිරීමට උත්සාහ කර ඇති බවත් මේ හේතුවෙන් සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන බව කියා සිටියා.

මෙම චෝදනා ලබා සිටින පුද්ගලයකුට ඇප නියම කල හැක්කේ මහාධිකරණයකට පමණක් බව පැවසූ රජයේ නීතිවේදියා ඒ අනුව ඇප ඉල්ලීම ඉවත දමන ලෙසයි ඉල්ලා සිටියේ.

එහෙත් සැකකාර තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට ඇප නියම කරමින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රකාශ කලේ සැකකරු කුට ලේඛනයක් සකස් කර ඇති බවට ඔප්පු කෙරෙන ප්‍රමාණවත් සාක්කි තමන් ඉදිරියේ නොමැති බවයි.

එමෙන්ම ප්‍රශ්න ගත ගිවිසුමේ අන්තර්ගත බව කියන උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත්කර එම ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබා දීම ,දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වැනි කරුණුවලින් ජාතින් අතර නොසන්සුන් තාවක් මතු නොවන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා එම චෝදනා සනාථ කිරීමට පියවර ගෙන නොමැති බවයි ප්‍රකාශ කලේ.

ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දහය බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හරින බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ.

ඇප මත නිදහස් වීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් තවමත් එක්සත් ජාතික පාක්ෂිකයකු බවයි.

“මේ පක්ෂය ආරක්ෂා කරන්න මම සෑහෙන කාර්ය භාරයක් කළා. එසේ නොකරන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පක්ෂ නායකත්වයෙන් විසිවී පක්ෂය කැබලි වලට කැඩිලා ගිහින්. මාව පක්ෂයෙන් නෙරපුවත් මම තවමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක්.” ඔහු කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර