පරීක්ෂණ ප්‍රමාද කරන්න - මංගල

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ ප්‍රමාද කරන මෙන් ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට නියමිත වාර්තාව තවත් මාස කිහිපයක් පමා කරන ලෙසයි විදේශ ඇමති මංගල සමරවීර වොෂින්ටනයේ දී එසේ ඉල්ලා සිටියේ.

විදේශ ඇමති මංගල සමරවීර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද බ්‍රහස්පතින්දා හමුවීමට නියමිතව තිබියදීයි එම අදහස ඉදිරිපත් කෙරුණේ.

ශ්‍රී ලංකා රජය විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවත් එය කල් මැරීමේ ක්‍රියාවක් නොවන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

තව මාස දෙකක් වැනි කාලයක් තුලදී එය ක්‍රියාත්මක කළ හැකි බවත් එතෙක් එම වාර්තාව ඉදිරිපත් නොකර සිටීමට ඔවුන්ට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවන බවත් වොෂින්ටනයේ දී බුද්ධි මණ්ඩලයක් අමතමින් විශ්වාසය පල කළේය.

මානව හිමිකම් කඩවීම් සිදු නොවූ බව පවසමින් කලින් පැවතී රජය මෙන් ප්‍රතික්ෂේප කිරීමක් නොකරන බව පැවසූ මංගල සමරවීර විදේශ ඇමතිවරයා එවැනි මානව හිමිකම් කඩවීම් සිදුවී ඇති බව වත්මන් රජය විශ්වාස කරන බව පැවසුවේය.

එම වාර්තාව ප්‍රමාද කිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව විමසු විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක රූපට් කොල්වින් පවසා තිබුණේ එය යොදා ගත් ආකාරයට මාර්තු 25 වැනිදා නියමිත පරිදි ඉදිරිපත් කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර