ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'දූෂණ සෙවීමට ජනතාවගේ හොඳ උනන්දුවක්'

පසුගිය රජයේ ප්‍රධානීන්ගේ දූෂණ හා වංචාවලට ඔවුනට දඬුවම් ලබා නොදුනහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වර්තමාන ආණ්ඩුව පරාජය කරන බවට ජනතාව දැන් තර්ජනය කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

ජනතාව හොරකම් හා දූෂණ සම්බන්ධයෙන් මෙතරම් උනන්දුව කටයුතු කිරීම ඉතා හොඳ තත්වයක් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නව රජයේ පළමු මාසයේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන තමන්ට යම් ප්‍රශ්න තිබුනත් සමස්තයක් ලෙස ඒ ගැන සතුටු වන බවයි පැවසුවේ.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මෙම අදහස් පල කලේ බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

දූෂිතයන් ගැන තවමත් ක්‍රියාමාර්ගයක් නොගැනීම තමන්ටද ප්‍රශ්නයක් වී ඇති බව ජනාධිපතිවරයාම පැවසීමෙන්ම පෙනේනේ ඔහු හෝ අගමැතිවරයා පොලිසියට හා අල්ලස් කොමිසමට බලපෑම් නොකරන තත්වය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා මෙන් තමන්ට විරුද්ධවාදීන් හිර ගත කිරමේ ක්‍රියාවලියක් ඔවුන් අනුගමනය නොකරන බවයි පැවසුවේ.

කඩවත ඉඹුල්ගොඩ පවත්වා ගෙන ගිය භාවනා මධ්‍යස්ථානයක් ගැන ඇතිවී තිබෙන ආන්දෝලනය ගැන පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජනතා මුදලෙන්, ආරක්ෂක අංශ යොදා ඉදි කර ජනතාවට විවර නොවූ එම ස්ථානය අනාවරණය කිරීම ගැන තමන් සතුටු වන බවයි. තමන් එහි ගියේ පෝය දිනක බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවට විවර නොකරන හිටපු රජයේ ප්‍රධානීන්ට පමණක් විවෘත වන මධ්‍යස්ථාන හමුදාව යොදා ඉදිකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ඇතැම් රජයේ දේශපාලනඥයන් විපක්ෂයේ දූෂිතයන් ආරක්ෂා කිරීමට උත්සහ කරන බව පිළිගත් නියෝජ්‍ය අමාත්‍යවරයා නමුත් තමන්, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ හා බහුතරයක් ජනතාව ඒ සම්බන්ධයෙන් යොදන පීඩනය නිසා එම උත්සාහයන් අසාර්ථක වී ඇති බවයි පැවසුවේ. වර්තමාන රජයේ බහුතරයක් අමාත්‍යවරුන් දූෂිතයන්ට දඬුවම් දීමට එකඟ බව පැවසූ නි. ආමාත්‍යවරයා ඔවුන් ඒ ගැන එතරම් හඬක් නොගන්නේ ඔවුන් තම අමාත්‍යාංශවල දින 100 කටයුතු ගැන දැඩි අවධානයකින් සිටීම නිසා බවයි පැවසුවේ.