රහස් පොලිසිය ගෝඨාභයගේ නිවසට යයි

ගාල්ලේ පාවෙන අවි ගබඩාව සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණු අවි ගබඩාව පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසා ඇත්තේ අද පස්වරුවේ අර්ධ ප්‍රකාශයක් ලබාගැනීම සිදුවූ බවයි.

සම්පූර්ණ ප්‍රකාශයක් පසුව ලබා දෙන බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

අවන්ට් ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම සතුව තිබූ අවි ගබඩා පිළිබඳව මෙහිදී ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටු වන ලද රක්නා ලංකා සමාගමේ ක්‍රියාකාරකම් පිළිබඳව ද විමසා තිබේ.

මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාවීම පිණිස නෞකාවලට ආයුධ සපයන අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමට අයත් නෞකාවක තිබී ගාල්ලේ දී අවි ආයුධ තොගයක් සොයා ගැනීම පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

ශ්‍රී ලංකාවේ දී රක්නා ලංකා සමාගමෙන් නීත්‍යානුකූලව තාවකාලිකව ලබා ගත් අවි ආයුධ හැරුණු කොට, සිය නෞකාවල තිබෙන අනෙක් සියලු ආයුධ සහ ආම්පන්න විදේශවලින් මිලදී ගත් දේ බව අවන්ට් ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානියා මීට පෙර සංදේශයට කියා තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර