මෝදි - මෛත්‍රී සාකච්ඡා දෙස ධීවර අවධානය

Image caption හර්මන් කුමාර-ධීවර සහයෝගීතා ව්‍යාපාරය

ඉන්දීය ධීවරයන්ගෙන් ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයින්ට සිදු වෙන අසාධාරණකම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බ්‍රහස්පතින්දා(12) කොළඹ පැවැත්වුන විශේෂ සාකච්ඡාවට සහභාගී වීමට ධීවර සහයෝගීතා ව්‍යාපාරයට කැඳවීමක් නොලැබීම සම්බන්ධයෙන් ලෝක ධීවර සම්මේලනය කනගාටුව පළ කරයි.

එම සම්මේලනයේ විශේෂ නියෝජිත හර්මන් කුමාර වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදීයි එම ප්‍රකාශය කළේ.

පසුගිය රජය බලයේ සිටි කාල වකවානුවේ අනුගමනය කළ ස්වේච්ඡා සංවිධාන නො සලකා කටයුතු කිරීමේ පිළිවෙත නව පාලනය යටතේත් වෙනස් වී නැද්ද යන සැකය තම සංවිධානය තුළ මතු වී ඇති බව සඳහන් කළ හර්මන් කුමාර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ධීවර ප්‍රශ්න සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා සහ අනතුරුව එතුමා කටයුතු කරණ ආකාරය ගැන දැඩි විමසිල්ලෙන් සිටින බවයි කියා සිටියේ.

මෝදි සමග හමුවක්

ලබන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි හමු වී ශ්‍රී ලාංකික ධීවර ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරණ බව කී ධීවර නායක හර්මන් කුමාර, ඉන්දියානු අගමැතිවරයා හමුවීමට තමන්ට නොහැකි වුනොත් කිසියම් විශේෂ ක්‍රමයක් ඔස්සේ ඔහු දැනුවත් කරණ බවත් කියා සිටියේය.

Image caption ඇන්ටන් ජේසුදාසන් මාධ්‍ය අමතමින්.

ධීවර සහයෝගීතා ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් පෙන්වා දීමට උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට ඇතුල් වන ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා සම්බන්ධයෙන් යයි සඳහන් කළ හර්මන් කුමාර ඊට අමතරව ‘කච්චතිවු’ දූපත සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලු ගැනත් යම් විසඳුමක් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

දකුණේ ධීවරයන් දේශපාලන බලය පාවිච්චි කරමින් උතුරට පැමිණ බලහත්කාරයෙන් මත්ස්‍ය සම්පත කොල්ල කෑම,උතුරේ ධීවරයින්ගේ ඉඩම් විශාල ප්‍රමාණයක් අධි ආරක්ෂිත කලාපයට ඇතුළත් කර ගැනීම, යුද්ධයෙන් මරණයට පත් ධීවරයන් ගේ වැන්දඹු කාන්තාවන්ට පිළිසරණක් ලබා ගැනීම ඇතුළු ශ්‍රී ලංකා රජයෙන් ඉටු නොවූ සෙසු කාරණා පිළිබඳවත් ඉන්දීය අගමැතිවරයා දැණුවත් කිරීමට පියවර ගන්නා බවයි ධීවර නායක හර්මන් කුමාර කියා සිටියේ.