රැඳවියන් කඩිනමින් නිදහස් කරනවා - අධිකරණ ඇමති

Image copyright Reuters

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිර ගත කොට සිටින චෝදනා ලැබීමට ප්‍රමාණවත් හේතු නැති රැඳවියන් නිදහස් කිරීමටත්, චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් ඒ අයට එරෙහිව නඩු පැවරීමටත් කඩිනමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙසේ අත් අඩංගුවට ගත් එක සිය අසු දෙදෙනෙක් නඩු පැවරීමකින් තොරව රඳවා සිටිති.

එම රැඳවියන් සම්බන්ධයෙන් රජය ඉතා ඉක්මනින් විසඳුම් ලබා දෙන බවයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.

නව රජය බලයට පත්වී සතියක් ඇතුළත මේ පිළිබඳව කරුණු සොයා බලා, විශේෂයෙන් ඔවුන්ට විරුද්ධව අපරාධ චෝදනාවක් ගෙන ආ හැකිද යන්න ගැන පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීති පති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බව ඔහු ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍යාංශය, නීති පති දෙපාර්තමේන්තුව, සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම කමිටුව නියෝජනය වන බවයි පැවසූ ඇමතිවරයා සති දෙකකින් පමණ කමිටු වාර්තාව අපේක්ෂා කරන බව පැවසුවේය.

ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගෙන සිටීම නිෂ්ඵල කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ ආකාරයෙන් මාස දහයකට පමණ පෙර කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන වැලිකඩ රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාලේන්ද්‍රන් ජෙයකුමාරි තම දියණිය දැක ගැනීමට ඉඩ සලසන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටීන්නීය.

ඇගේ දියණිය සිටින්නේ පරිවාස බාර යේයි.