ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවයේ නව පිටුවක්

Image copyright AFP

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදවියට පත් වීමෙන් අනතුරුව සිය පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගනු ලැබීම ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා පණ ගැසීම අතින් නව දිල්ලි පාලනය තුළ නව බලාපොරොත්තු දල්වනු ඇතැයි ඉන්දීය විශේෂඥයෝ පවසති.

කලින් බලයේ සිටි මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාව කෙරෙහි චීනයේ අසීමිත බලපෑම පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයෙනුයි සිටියේ.

එවැනි තත්වයක් යටතේ පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව බලයෙන් පහවීම ඉන්දියාවේ කිසියම් අස්වැසිල්ලකට හේතු වී ඇති බව නිසැකයි.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය සංචාරයක නිරත වන්නේ ශ්‍රී ලංකාවේ නව හැඩගැසීම් මුල් කර ගනිමින් ඉන්දියාව එවැනි අස්වැසිල්ලකින් පසු වන අවස්ථාවකයි.

එම අස්වැසිල්ලෙන් නිසි ඵල නෙලා ගෙන ඉන්දු - ලංකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තහවුරු කිරීම නව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයේ අරමුණයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ නව නායකයාට සිය රටේ සංචාරයක නිරත වෙන මෙන් කරන ලද ආරාධනයෙන්ද විද්‍යමාන වන්නේ එම තත්වයයි.

චීන බලපෑම්

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටු පොළ ඉදි වීමත් සමග ඉන්දීය කොන්සල් කාර්යාලයක් හම්බන්තොට විවෘත කෙරුණ අතර ,එම පියවර මගින් පෙන්නුම් කෙරුණේ ශ්‍රී ලංකාව චීනය දෙසට වඩාත් නැඹුරු වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමු වෙන බවයි.

Image copyright AFP GETTY
Image caption අගමැති නරේන්ද්‍ර මෝදි

කොළඹ ඉදි කෙරෙන වරාය නගරය ඉන්දීය සාගර කලාපයේ චීන බලපෑම වක්‍ර මට්ටමින් තහවුරු කර ගැනීමක් හැටියට ඉන්දියාවේ සැකයට පාත්‍ර වූ අතර චීන සබ්මැරීනයක් කොළඹ වරායට සේන්දු වීමත් සමග තත්වය තවත් තීව්‍ර විය.

ඉන් කලබලයට පත් ඉන්දියාව ශ්‍රී ලංකා බලධාරීන්ට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ශ්‍රී ලංකා රජය විසින් පළ කරන ල ප්‍රතිචාරය මගින් ඉන්දියාවේ අවිශ්වාසය තුනී නොවූ අතර කඩතොළු වූ සම්බන්ධතා නැවත ගොඩනැගීමට අසමත් වූ බවකුයි දක්නට ලැබුණේ.

මහින්ද රාජපක්ෂ රජය චීන ව්‍යාපෘතීන් කෙරෙහි දක්වන උනන්දුව සහ ඉන්දීය ව්‍යාපෘතීන් සඳහා දක්වන ඇල් මැරුණු ආකල්පය වඩාත් කැපී පෙනුණේ සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණ ආකාරයෙනි. එයඉන්දියාවේ නොසතුට වර්ධනය කළ අවස්ථාවක් විය.

මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී මසක් සම්පූර්ණ වනවාත් සමගම ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ඔහුට ආරාධනා කරනු ලැබීම ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා නිසි මගකට හැරවීමේ ඉන්දීය ඕනෑ කම පෙන්නුම් කිරීමකි.

ඉන්දීය අර්ධද්වීපයේ බල තුලනය පිටස්තරයන්ගේ අත පෙවීමකින් තොරව තිබෙනු දැකීම කලාපයේ මහ බලවතාගේ උවමනාව බව කියා පෑම එහි දී සිදු වනු නොඅනුමානයි.

එසේම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සිය ඉන්දීය සංචාරයේ නිරත වන්නේ සිය රට ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින අවස්ථාවකයි.

යුද්ධයේ දී බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට එල්ල වන චෝදනා විභාග කරන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඉන්දියාව දෙවරක්ම සහයෝගය පළ කළේය.

එහෙත් පසුගිය වසරේ මාර්තු මාසයේ ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකුණි.

උතුරු පළාත් සභාව

ශ්‍රී ලංකාවේ උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවට යෝජනාවක් උතුරු පළාත් සභාව පසුගිය දා ඒකච්ඡන්දයෙන් සම්මත කර ගත් පසුබිමක එයට ඉන්දියාවේ සහයෝගය ලැබේද යන්නද සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින තවත් කරුණකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය තුලින් ජාත්‍යන්තර සම්බන්ධතා තලයේ නව පිටුවක් පෙරලෙන බවයි, ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පසුගිය දා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ.

Image copyright httppmindia.gov.in
Image caption ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා සහ අගමැති මෝදි

‘’පසුගිය කාලයේ ශ්‍රී ලංකා රජයත් ඉන්දියාවත් අතර විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධාන තුල විවිධ මත ගැටුම් මතු වුනා,’’යැයි කිරිඇල්ල අමාත්‍යවරයා පැවසීය.

ඉන්දියාව සමග අලුත් ආරම්භයක් අවශ්‍ය බව පැවසු ඇමතිවරයා ,‘’ඉන්දියාවේ ජනගහනය කෝටි 140 ඉක්මවා තිබෙනවා.ඉන්දියාව සමග හොඳ හිත තියා ගන්නවා නම් අපට වෙන රටක් අවශ්‍ය නැහැ’’යයි පැවසීය.

කෙසේ වෙතත් ඉන්දියාව සමග හොඳ හිත වර්ධනය කිරීම පිණිස ප්‍රධාන කරුණු ගණනාවකට ප්‍රමුඛත්වය දීමට ශ්‍රී ලංකාවට සිදුවේ.

බලය බෙදීම

උතුරේ ජනතාවට සාධාරණයක් වන අන්දමින් බලය විමධ්‍යගත කිරීම ඉන් ප්‍රධානම කරුණයි.

දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනු දැකීම ඉන්දියාවේ අභිලාෂයයි.

කෙසේ වෙතත් ජනාධිපතිවණයේ දී තමන්ට ප්‍රබල සහයෝගයක් දැක්වූ දකුණේ ජාතිකවාදී පක්ෂ එයට කවර ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්න නව ජනාධිපතිවරයා මුහුණ දෙන ගැටලුවකි.

ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් වෙන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබීමත් තමිල්නාඩු ප්‍රාන්තයේ කෝපයට හේතු වී තිබේ.

ඉන්දියාව සමග හොඳ හිත වර්ධනය කර ගනිමින්,ණය ආධාර නොව ආයෝජන අපේක්ෂාවෙන් නොබැඳි පිළිවෙතක් ආරම්භ කර ඇති බව අගමැති නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ඉන්දීය රජයට ඒත්තු ගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයේ අභියෝගයන් අතර වේ.