ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තවමත් අස්වුනේ නැහැ - රජීව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරිය මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ධූරයෙන් ඉල්ලා අස්වීමට මුල්වූ තත්වය මත ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජීව විජේසිංහ පවසයි.

තමා නොමැති අවස්ථාවක දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරිය මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිවැරදි නැති බවයි ඔහු පවසන්නේ.

ඇයට විරුද්ධව චෝදනා ඇත්නම් ඒවා විභාග කළ යුතුව තිබුණු බව ඔහු පැවසුවේය.

ජනාධිපතිවරයාගේ නම පාවිච්චි කරමින් මහා මාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂිම් ඇයට අස්වන ලෙස දන්වා ඇති බවත් එය වැරදි බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජීව විජේසිංහ ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ බලපෑම් මත එසේ සිදු කර ඇති බව පවසන නමුත් ක්‍රියා මාර්ග ගත යුත්තේ ව්‍යවස්ථාවට සහ පනත් වලට අනුකුලව බවයි ඔහු පැවසුවේ.

පසුගිය රජය යටතේ බොහෝ දෙනකු බලපෑම් මත වැඩ කළ නමුත් වත්මන් රජය යටතේ කලින් කළ වැරදි නැවත නොකළ යුතු බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ .

මේ තත්වය මත කළ කිරීමට පත්ව තමා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට පල වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජීව විජේසිංහ පැවසුවේ තමන් මේ පිළිබඳ අගමැතිවරයා සමඟද සාකච්ඡා කොට ඇති බවත් ලැබෙන ප්‍රතිචාරය අනුව ඉක්මන් තීරණයක් ගන්නා බවයි.